IMF දූත මණ්ඩල සංචාරය නිමයි
පසු වැඩසටහන් අධීක්ෂණ (Post - Program Monitoring) සාකච්ඡා සඳහා ටොඩ් ෂ්නයිඩර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩලය සිය ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කර ඇත.
පසුගිය සැප්තැම්බර් 08 වැනි දින සිට 18 වැනි දක්වා කාලය තුළදී මෙම පසු වැඩසටහන් අධීක්ෂණ සාකච්ඡා සඳහා ඔවුහු කොළඹට පැමිණියහ. මෙම අධීක්ෂණය ජා.මූ. අරමුදලේ සම්පත්වලට 'විශේෂිත ප්‍රවේශය' යටතේ අවස්ථාව ලද රටවල් සඳහා පොදු ක්‍රියාමාර්ගයක් වන අතර, එය 2012 වසරේදී ජා.මූ. අරමුදලේ ඇ.ඩො. බිලියන 2.6ක ණය පහසුකම සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව සඳහාද අදාළ වන බව පවසයි. එම දූත පිරිස, අග්‍රාමාත්‍යවරයා, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් සමගද සාකච්ඡා පවත්වා ඇත.
මෙම සංචාරය අවසානයේදී ෂ්නයිඩර් මහතා පවසා සිටියේ,
"සේවා අංශයේ ඉහළ වර්ධනය හා කෘෂිකාර්මික අංශය නැවත යථා තත්ත්වයට පත්වීම තුළින් 2015 වර්ෂයේ පළමු වැනි භාගයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත මගින් ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2015 වසර අවසානය වනවිට මෙම වර්ධනය 5% - 5.5% අතර පරාසයක අඛණ්ඩව පැවතිය හැකියි. රාජ්‍ය අංශයේ වැටුප් හා වේතන සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම තුළින් වර්ධනය වූ පාරිභෝගික වියදම්, පාරිභෝගික හා අනෙකුත් භාණ්ඩවල ඉහළ ආනයන වර්ධනයට දායක වූ අතර, එය තෙල් මිල ගණන පහළ යෑමෙන් ලැබූ ඉතුරුම්වලට වඩා ඉහළ අගයක් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ හිඟය (ඉන්ධන හැර) ඉහළ යෑම වසරේ පළමු වැනි මාස අට තුළ මහ බැංකුවේ විදේශ සංචිත අඛණ්ඩව අඩු වීම සඳහා දායක වී තිබෙනවා. මතුපිට උද්ධමනය දැනට ශුන්‍යයට ආසන්න මට්ටමක පැවතියද වසර අවසානයේදී එය 3% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. දේශීය වෙළෙඳ නොවන ද්‍රව්‍ය සඳහා වූ ඉහළ ඉල්ලුම හා ආර්ථික කටයුතු සඳහා සම්පත් භාවිතය ක්‍රමයෙන් ඉහළ යෑම හේතුවෙන් වසර ආරම්භයේ සිට මූලික උද්ධමනය අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ අපේක්ෂිත දැඩි මුදල් ප්‍රතිපත්තිය සහ නැගී එන වෙළෙඳ පොළවල වර්ධන අපේක්ෂාවන්ගේ අවිනිශ්චිතභාවය හේතුවෙන් විදේශීය මූල්‍යනය වඩාත් විචලනය වනු ඇති අතර, එම නිසා ඉදිරි දැක්මට යම් අවදානමක් ඇති විය හැකියි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් සඳහා දෛනිකව එතැන් මිලක් (Spot Prices) නියම කිරීම අත්හිටුවමින් විනිමය අනුපාතය තීරණය වීමේදී වෙළෙඳ පොළ බලවේගවලට පුළුල් කාර්යභාරයක් ඉටුකිරීමට ඉඩහැරීම සඳහා මෑතකදී ගනු ලැබූ තීරණය දූත පිරිසේ ඇගයීමට ලක් වෙනවා. මින් ඉදිරියට තරගකාරීත්වය පවත්වාගෙන යෑම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස විනිමය අනුපාතයේ නම්‍යශීලීභාවය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව කැප විය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳ පොළ පුළුල් කිරීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග සහ ආයෝජන ලැබීම් ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය පාලන රෙගුලාසි සමාලෝචනය සඳහා කටයුතු කිරීම දූත පිරිසේ පැසසුමට ලක්වෙනවා. මීට අමතරව සමස්ත මූල්‍ය පද්ධතිය ස්ථාවර බවත්, වත්මන් මුදල් ප්‍රතිපත්තිය යෝග්‍ය බවත් දූත පිරිසෙහි අදහස වන නමුත්, ඉහළ යන මූලික උද්ධමනය, පෞද්ගලික අංශයෙහි ණය ප්‍රමාණය යළි ඉහළ යෑම සහ ආර්ථික කටයුතු සඳහා සම්පත් භාවිතය ක්‍රමයෙන් ඉහළ යෑම යන කරුණු හමුවේ සුපරක්ෂාකාරී විය යුතු බව නිර්දේශ කෙරෙනවා. මේ තත්ත්වය යටතේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් කෙරෙහි යොමු වීම යෝග්‍ය වනු ඇති.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීමට සහ රාජ්‍ය ණය අඩු කිරීමට ඉතා ඉක්මණින් සුදුසු පියවර ගත යුතු බවට බලධාරීන් දරණ මතය සමග දූත මණ්ඩලය එකඟ වෙනවා. දූත මණ්ඩලය විසින් 2015 වසරේදී අයවැය හිඟය ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.5% ත් 6% ත් අතර වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අයවැය හිඟය ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩි අගයක් වන අතර, එය මූලිකවම මූල්‍යනය කෙරෙනුයේ දේශීය ණය ගැනීම් තුළිනුයි. ඉදිරි කාලය දෙස අවධානය යොමු කිරීමේදී 2016 වසර සඳහා වන අයවැය, මැදිකාලීන තිරසාර රාජ්‍ය මූල්‍ය ඒකාග්රතාවයක් වෙත යොමු වූ මාවතකට නැවත ප්‍ර‘වේශ වීමට සහ 2016 සහ ඉන් ඔබ්බට සාර්ව ආර්ථික ප්රමුඛතාවයන් තීරණය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් වෙනවා. දූත පිරිස, 2016 වසර සඳහා වන අයවැයෙහි හිඟය ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.5% මට්ටමේ පවත්වාගත යුතු බවත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම, වියදම් පාලනය සහ කල්පවත්නා බදු ප්‍රතිසංස්කරණ යනාදියේ සංකලනයක් මත පදනම් කර ගත යුතු බවට අවධාරණය කරනු ලබනවා. බදු ක්‍රමය සරල, සාධාරණ සහ කාර්යක්ෂම කර ගැනීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම සඳහා බදු වියදම් (බදු නිදහස් කිරීම, බදු විරාම සහ බදු අනුපාත අඩු කිරීම්) අවම කිරීමේ අවශ්‍යතාවද දූත මණ්ඩලය විසින් අවධාරණය කරනවා.
එමෙන්ම, වෙළෙඳ පොළ මත පදනම් වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පිළිබඳව බලධාරීන් දක්වන අවධානය සහ මූලික ක්‍රියාමාර්ගයන් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය දූත මණ්ඩලයෙහි ඇගයීමට ලක් වෙනවා. ඉන්ධන සහ විදුලිය මිලකරණය, සහනාධාර, වෙළෙඳ ප්‍රතිපත්තිය, සාධක (විශේෂයෙන්ම ඉඩම්) වෙළෙඳ පොළ ලිහිල්කරණය සහ ආයෝජන පරිසරය ආදිය ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි අංශයන් වෙනවා. රාජ්‍ය ව්‍යාපාර වාණිජමය අඩිතාලමක පිහිටුවීම, වෙළෙඳ පොළ පදනම් කරගත් මූල්‍ය තීරණ (මිලකරණය ඇතුළුව) ගැනීම සඳහා ඔවුන්ට ඉඩප්රස්ථාව සැලසීම සහ වඩා ඉහළ මූල්‍ය ශික්ෂණයක් රාජ්‍ය ව්‍යාපාරවලද පවත්වා ගැනීම සඳහා දිරිගැන්වීමද අයවැය මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති අවදානම අඩු කිරීමට උපකාරී වනු ඇති." යනුවෙනි.
පසු වැඩසටහන් අධීක්ෂණය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවක් 2015 නොවැම්බර් මැද භාගයේදී පැවැත්වීමට අපේක්ෂිතය.
රටක සංචාරයක් අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන මෙවැනි නිවේදනයක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙහි අදහස් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර, එමගින් අවශ්‍ය‘යෙන්ම ජා.මූ. අරමුදලේ කළමනාකාරීත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නොකෙරෙන බව පෙන්වා දෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම්කොට ජා.මූ. අරමුදල වාර්තාවක් පිළියෙළ කරන අතර, කළමනාකාරීත්වයේ අනුමැතියට යටත්ව එය ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

