IMF තෙවැනි ණය වාරිකය අද මුදා හරියි
2016 ජුනි මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවැනි ණය වාරිකය ලෙස ඇ.ඩො.මිලියන 167.2 (ආසන්න වශයෙන් රු.කෝටි 2,500ක්) අද (19දා) මුදාහැරීමට නියමිතය.
මෙම තුන් අවුරුදු විස්ථීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව සම්පූර්ණ කිරීම සමග තුන්වැනි වාරිකය මුදාහැරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
විස්තීරණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීමය. දෙවැනි සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරුව, දැඩි කාලගුණික තත්ත්ව හා ගෝලීය වෙළෙඳ පොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බව මහ බැංකුව සඳහන් කරයි.
විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් ක්‍රියාත්මක කරනලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වී ඇති බවත්, මාර්තු මාසයේදී සිදුකරන ලද මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම එම අරමුදලේ පැසසුමට ලක්වූ අතර, මූල්‍ය ස්ථායීතා දර්ශකයන් හි ස්ථාවරතාව සහ අඛණ්ඩව ජාත්‍යන්තර සංචිත රැස්කර ගැනීමටත්, විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගැනීමටත් බලධාරීන් විසින් දරනු ලබන ප්රයත්නය ඇගයීමට ලක්කර ඇති බවත් මහ බැංකුව පවසයි. විස්තීරණ ණය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන මිනුම් සම්පූර්ණ කරගැනීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාව විසින් විස්තීරණ ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාගැනීමත් සමග ඒ යටතේ සමස්තයක් ලෙස මේ දක්වා ඇ.ඩො.මිලියන 501.5ක් (ආසන්න වශයෙන් රු.කෝටි 7,500ක) මුදලක් ලබාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

