ජුනි මාසය අවසන් වනවිට සැපිරිය යුතු සියලු කාර්ය සාධන මට්ටම් සපුරාලීම පිළිබඳව ප්‍රශංසාව හිමි වුවත්, වැඩසටහනෙහි ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ගත් විට විශේෂයෙන්ම බදු ප්‍රතිසංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුව ඇති බව IMF දූත මණ්ඩලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ආර්ථික වැඩපිළිවෙළහි ප්‍රගති සාකච්ජා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඔවුන් මෙසේ සිය නිරීක්ෂණය පවසා සිටියි.
ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිලධාරීන් කණ්ඩායම 2016 වසරේ සැප්තැම්බර් මස 13 දා සිට 23 වැනිදා දක්වා කාලය තුළදී, අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීර ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික වැඩසටහනෙහි පළමු වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹට පැමිණියේය. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යාම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණ කිරීම වෙනුවෙන් වූ බලධාරීන්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීම බවත්, මෙම සංචාරය අවසානයේ දී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත්කළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
"දූත මණ්ඩලය පළමු වැනි ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව රජය සමග නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළා. ඔක්තෝබර් මාසයේදී වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සමුළුවේදී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.
සමස්තයක් ලෙස, 2016 වසරේ පළමු වැනි භාගයේදී සාර්ව ආර්ථික ක්‍රියාකාරකම් සැලසීමේදී ගෙවුම් තුලනය වැඩිදියුණු වීම හා මෑතකාලීනව ඇති වූ ගංවතුර නිසා ආර්ථික වර්ධනයක් අඩු වීම සහ ඉහළ උද්ධමනය යනාදී වර්ධනය යනාදී වශයෙන් මිශ්‍ර ක්රියාකාරීත්වයක් දක්නට ලැබුණා. වෙළෙඳ පොළ විශ්වසනීයත්වය වර්ධනය වීමට හා විදේශීය තුලනය මත ඇති පීඩනය අඩු කිරීමට උපකාරී වන අන්දමින් රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම දූත මණ්ඩලයේ පැසසුමට ලක්වෙනවා.
දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා, ජුනි මාසය අවසන් වනවිට සැපිරිය යුතු සියලු කාර්ය සාධන මට්ටම් සපුරාලීම පිළිබඳව දූත පිරිසේ ප්‍රශංසාව හිමි වෙනවා. කෙසේ වෙතත්, වැඩසටහනෙහි ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ගත්විට විශේෂයෙන්ම බදු ප්‍රතිසංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.
ඒ අනුව, 2016 හා 2017 සඳහා වන ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වන එකතු කළ අගය මත බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමේ නෛතික ක්‍රියාවලිය රජය විසින් කඩිනම් කිරීම වැදගත් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්විට අඩු මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ බදු ආදායම් ඉහළ නැංවීම සඳහා මැනවින් සකස් කරනලද ඉහළ ගුණාත්මකබවකින් යුතු බදු ප්‍රතිපත්තියක් ආධාරයෙන් 2017 වසරේ අයවැය සකස් කළ යුතුව තිබෙනවා. වඩා පහසුවෙන් පුරෝකථනය කළ හැකි, කාර්යක්ෂම හා සාධාරණ ව්‍යුහයක් බවට බදු ක්‍රමය නැවත පරිවර්තනය කිරීම සහ රටේ අපේක්ෂිත සමාජයීය හා සංවර්ධන අභිමතාර්ථ සපුරා ගැනීමට උපකාරී වන අවශ්‍ය සම්පත් උත්පාදනය කර ගැනීම සඳහා නව දේශීය ආදායම් ආදායම් පනත හා සම්බන්ධ නෛතික ක්‍රියාවලිය ආරම්භ කිරීම වැදගත් පියවරක් වනු ඇති.
උද්ධමනය ඉලක්කගත සීමාව තුළ පවත්වා ගැනීම සඳහා පූර්ව ක්‍රියාමර්ගයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස යහපත් ආකල්පයක් දරනවා. උද්ධමන පීඩන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරික්ෂාකාරීව අධීක්ෂණය කළ යුතු අතර, උද්ධමනය හෝ ණය වර්ධනය අඛණ්ඩව ඉහළ යන්නේ නම් මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතුයි. විදේශ අංශයේ පවතින පීඩනය අවම කිරීම සඳහා විදේශ සංචිත යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව ප්‍රයන්ත දැරීම සහ විදේශ විනිමය වෙළෙඳ පොළ තවදුරටත් දියුණු කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි නම්ය‘ශීලීත්වය පවත්වා ගැනීම දිරිමත් කෙරෙනවා. එහිදී, මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය කෙරෙහි ගමන් කිරීම සඳහා, බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය සමග වූ සැලසුම් පිළිබඳව දූත පිරිස විසින් සාකච්ඡා පවත්වනු ලැබුවා.
පසුගිය වසර කිහිපය තුළ ලද තාක්ෂණික සහායද පදනම් කර ගනිමින් රජය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කිරීම දූත මණ්ඩලය විසින් දිරිමත් කෙරෙනවා. මැදිකාලීන සාර්ව ආර්ථික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් සමග එකාබද්ධ වීම, ඉහළ මට්ටමක විදේශීය සෘජු ආයෝජන ආකාර්ෂණය කරගැනීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා ඉහළ නංවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති. තරගකාරීත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වනු ඇති. තරගකාරීත්වය ඉහළ නැංවීම තුළින් වාණිජ කටයුතු වැඩිදියුණු කරගැනීම මෙන්ම පෞද්ගලික අංශයේ වර්ධනය ඉහළ නංවා ගැනීමද ආර්ථික වර්ධනය සඳහා උපකාරී වනු ඇති."
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මහ බැකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෙනත් රජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන්ද හමු වී තිබේ.
රටක සංචාරය අවසන් කිරීමෙන් පසු දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන් හි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන්ගේ මූලික නිරීණෂණයන් ඇතුළත් වන බවත්, ඔවුන් ඉදිරිපත් කළ නිවේදනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එමගින් අවශ්‍ය‘යෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නොකරන බවත් පෙන්වා දෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කරගෙන කළමනාකාරීත්වයේ අනුමැතියට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙන බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.