වසර 15 කට පෙර නිව්යෝක් නුවරට රැස්වූ රාජ්‍ය නායකයන් විසින් තීරණය කරන ලද සහශ්‍රයේ සංවර්ධන ඉලක්ක, වෙනත් බෝහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් පරයා සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ දකුණු ආසියානු සමාජ ආර්ථික සමානාත්මතාවය නැංවීම උදෙසා වන අන්තර් ජාතික සමුළුව පසුගිය 15 වැනිදා කොළඹ, කිංස්බරි හෝටලයේදී පැවති අවස්ථාවේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය සඳහා කරනලද ආයෝජනයන් මේ සාර්ථකත්වයට හේතු වූ බවයි. ඉන්දියාව, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ බොහෝ රටවල් දැන් ශීඝ්‍ර ආර්ථික සංවර්ධන මාවතකට එළැඹ ඇති බවත්, ඊට දායක වූයේ පැරණි දැඩි සමාජවාදී ආර්ථික ආකෘතිය අත්හැර වෙළෙඳ පොළ ආර්ථික ප්රතිපත්තියකට එළැඹීම බවද ඔහු සඳහන් කළේය. මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා අපේ රටවල දිළිඳුකමින් පෙළෙමින් සිටි ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකිව ඇති බව අප පිළිගත යුතු යැයිද ඇමතිවරයා සඳහන් කළේය.
ජාතික විද්‍යා පදනම සහ ඉන්දියාවේ සමාජ විද්‍යා පර්යේෂණ කවුන්සිලය මගිනි මෙය සංවිධානය කරනු ලැබීය. ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඩී. මුනි මහතා ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගී වූහ.