ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා මුද්‍රණ 2018 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අද (18දා) සාර්ථකව නිමාව දුටුවේය.
මෙවර ප්‍රදර්ශනය පසුගිය 16දා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී දින තුනක් පුරා ප්‍රදර්ශනය සාර්ථකව පැවැත් වුණු බව සංවිධායකයෝ පැවසූහ.
දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් මුද්‍රණකරුවන් විශාල පිරිසක් සහභාගී වූ මෙවර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරත් අමුණුගම මහතා විශේෂ දේශනයක්ද සිදුකර තිබුණි.
ප්‍රදර්ශනය පුරා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ කුටි රැසක් පැවතුණු අතර, මුද්‍රණ ක්ෂේත්රයේ නවීන තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව ආසියානු මුද්‍රණකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්ද පවත්වා තිබුණි.
මෙම ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.