ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය අතර ඇති කරගත් මාස 6ක කල්බදු ගිවිසුම (wet leased) ඊයේ (09දා) සාර්ථක ලෙස අවසන් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ A330-300 ගුවන් යානාවක් ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය, නඩත්තුව ඇතුළු රක්ෂණය (Aircraft, Complete crew, Maintenance and Insurance- ACMI) සමගින් පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය වෙත කල්බදුදීමේ පදනම මත ලබාදී තිබූ බවත්, පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගමට මෙම ගිවිසුම හරහා සිය මෙහෙයුම් අඛණ්ඩව සම්පූර්ණ කිරීමට එමගින් හැකියාව ලැබී තිබෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා පවසා සිටියේ, "මේ ගිවිසුම පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එලැඹී ඇති ලාභ උපරිම ලෙස ඉපයිය හැකි වාණිජ ගිවිසුමක් ලෙස හැදින්විය හැකියි. ගුවන් සමාගමේ අසීරු කාලසීමාවක් තුළ බොහෝ අභියෝග මධ්‍යයේ වුවත් ලාභ ඉපයීමට හැකි මූල්‍ය ප්රයන්තයක් ලෙස මේ ගිවිසුම ගුවන් සමාගමට විශාල ශක්තියක් වී තිබෙනවා. ගුවන් සමාගමේ කළමනාකාරීත්වය වශයෙන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවීමෙන්, වෘත්තීය දක්ෂතාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කළ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුදකර සිටිනවා.
එසේම මේ (ACMI) කල්බදු දීම මගින් අපගේ පාර්ශ්වකරු වන පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා පකිස්තානයේ සිට ලන්ඩන් දක්වා වූ සිය මෙහෙයුම් සඳහා ප්රමුඛ සේවාවක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. එමගින් ජාතීන් දෙක අතර පවත්නා සුහදත්වය මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාවද මෙමගින් වර්ධනය වූවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය සමග වාණිජ ගිවිසුම් සඳහා එලැඹීමට බලාපොරොත්තු වන අතර, මේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම සමාගමට ස්තූතිවන්ත වෙනවා" යනුවෙනි.
මෙම ගුවන් යානාව තවත් සති කිහිපයකින් ශ්‍රී ලංකන් වෙළෙඳ නාමය නැවත පින්තාරු කිරීමෙන් පසු එහි ගුවන් යානා ඇණිය වෙත එකතු වීමට නියමිත බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.