ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන කොයින්බටූර් වෙත ගුවන් මෙහෙයුම් ඇරඹීම ජූලි 16 වැනිදා සිදුව තිබේ. ඒ අනුව ගුවන් සමාගම කොයින්බටූර් වෙත සතියකට ගුවන් ගමන්වාර 4ක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් කොයින්බටූර් හි ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගෝලිය ගුවන් ගමන්ජාලය හරහා ලෝකය වෙත සම්බන්ධ වීමට අවස්ථා රැසක් උදාකර දෙනු ඇති බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකන් සමාගම මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දීය නගර 3 අතර එක් ගමනාන්තයක් ලෙස කොයින්බටූර් හැඳින්විය හැකි අතර, ගුවන් සමාගම අනෙක් නව ගමනාන්ත වන විසාකාපට්නම් (ජූලි මස 8දා) සහ හයිද්‍රාබාද් (ජූලි මස 12දා) වෙත නව ගුවන් ගමන් මේ වනවිට ආරම්භ කර අති බවද නිවේදනය කරයි.
මෙම නව ගමනාන්ත සමගින් ශ්‍රී ලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14ක් වෙත ගුවන් ගමන් 126ක් සිදුකරමින් චෙන්නායි, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්, බැංගලෝරය සහ කල්කටා වෙත සිය ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති බවද ඔවුහු වැඩිදුරටත් නිවේදනය කරති