ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පවසා සිටියේය. මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලෙවි කිරීම පිළිබඳව අසත්‍ය ප්‍රචාර පළවෙමින් තිබෙන බවත්, එවැනි ගනුදෙනුවක් සිදුවූ වහාම රජය ජනතාවට ඒ පිළිබඳව දැනුම් දෙන බවද සඳහන් කළේය.
"දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගන්න කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර අය සමහර තැන්වල විවිධ කතා කියලා තියෙනවා. බස් එකක්වත් ගන්න බැරි අයත් එයාර් බස් ගැන කතා කරනවා" මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගනුදෙනුව පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත්, ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කරමින් පවතින බවත් පවසා සිටියේය.
එසේම අද හෝ හෙට දිනයේදී එම වරාය ගනුදෙනුව සම්බන්ධයෙන් රජය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරන බවද අමාත්‍යවරයාගේ අදහසයි.