ආසියානු සංවර්ධන බැංකුවේ, ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාවයේ මූල්‍ය නියාමකයන් පුහුණු ආයතනයේ (Asia Pacific Economic Cooperation Financial Regulators Training Initiative) කලාපීය වැඩමුළුවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අඛණ්ඩව 5 වැනි වසරටත් පවත්වන ලදී.
මෙවර පවත්වන ලද වැඩමුළුවේ තේමාව වූයේ %ආයෝජකයන් හා වෙළෙඳ පොළ අතරමැදි අධ්‍යාපනය^ යන්නයි. 2015 දෙසැම්බර් 07 සිට 11 වැනිදා දක්වා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවති මෙම වැඩසටහන විශේෂයෙන්ම වැදගත් වූයේ මූල්‍ය සාක්ෂරතාව නංවා ගැනීමට කැමැත්තක් දක්වන්නන්ට, ආයෝජකයන්ට, වෙළෙඳ පොළ අතරමැදියන්ට, මූල්‍ය උපදේශකයන්ට හා සමාගම් අධ්යක්ෂවරුන් සඳහා අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවන්නන්ටයි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. අයි.එම්. රෆික් මහතා සහභාගී විය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට බැංකු කටයුතු පිළිබඳ පුළුල් අවබෝධයක් තිබුණද, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා එහි ආයෝජන අවස්ථා පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති බව එහිදී ඔහු කියා සිටියේය. එමෙන්ම දිගුකාලීන ආයෝජන සංස්කෘතියක් බිහිකිරීමේ වැදගත්කමද ඔහු පෙන්වාදෙන ලද අතර, එය දේශීය ආයෝජක ප්‍රජාව වර්ධනය කිරීමටද හේතුවන බව ප්‍රකාශකර සිටියේය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන මහතා රැස්ව සිටි පිරිස අමතමින් සඳහන් කළ විශේෂ කරුණක් වූයේ, ආයෝජකයන් සවිබල ගැන්වීමට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය නියාමන ක්‍රමවේදයක් වනුයේ ආයෝජක අධ්‍යාපනය බවයි. එවැනි දැනුවත් ආයෝජක ප්‍රජාවක් බිහිකිරීම මගින් නියාමන වියදම අඩු කරවීමට හේතුවන බවද ඔහු විසින් පෙන්වා දෙන ලදී. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ශ්‍රී විඩෝවති මහත්මිය විසින්ද සම්මන්ත්‍රණය අමතන ලදී.
ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතාවයේ මුදල් අමාත්‍යවරුන් විසින් ජාතික සහ කලාපීය මූල්‍ය නියාමකයන් පුහුණු කිරීමේ කටයුතු පුළුල් කිරීම සඳහා මූල්‍ය නියාමකයන් පුහුණු කිරීමේ අංශය ස්ථාපිත කිරීම අනුමත කර ඇත. මූල්‍ය සුපරීක්ෂණය, නියාමන ආයතන, කොටස් සහ ව්‍යුත්පන්න සුරැකුම්පත් වෙළෙඳ පොළ හා සම්බන්ධ කණිෂ්ඨ සහ මධ්‍යම මට්ටමේ නිලධාරීන් සඳහා ස්ථිරසාර, කාර්යක්ෂම සහ එලදායී වැඩසටහන් මෙභෙයවීමට ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතාවයේ මූල්‍ය නියාමකයන් පුහුණු කිරීමේ ආයතනයට හැකියාව ලැබී ඇත.
මෙම වැඩමුළුව හරහා ප්‍රධාන අංශ 4 ක් ආවරණය කිරීමට කටයුතු යොදා තිබූ අතර, එමගින් මූල්‍ය වෙළෙඳ පොළ අධ්‍යාපනය සහ මූල්‍ය සාක්ෂරතාව, ආයෝජක අධ්‍යාපනය, මූල්‍ය වෙළෙඳ පොළ අතරමැදියන් හා මූල්‍ය උපදේශකයන්ගේ අධ්‍යාපනය සහ සමාගම් අධ්‍යක්ෂකවරුන් හා වෙළෙඳ පොළ අතරමැදි ආයතන ශක්තිමත් කිරීම සඳහා වන සාංගමික ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා රටවල් 13 කින් නියෝජිතයන් සහභාගී වූ අතර, එය ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කලාපීය සම්මන්ත්‍රණයක් සඳහා මෙතෙක් සහභාගී වූ ඉහළම නියෝජිතයන් සංඛ්‍යාවද වේ. මෙම නියෝජිතයන් අතර දේශීය නියාමන ආයතන නියෝජිතයන් මෙන්ම බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඝානාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, කොරියාව, මාලදිවයින, නේපාලය, පිලිපීනය, තායිවානය සහ තායිලන්තය නියෝජනය කරමින් විදේශීය නියෝජිතයෝ සහභාගී වූහ.
මෙම වැඩමුළුවේ සම්පත් දායකයන් අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අංශ නියාමන අධිකාරියේ අධ්යක්ෂ පීටර් කැන්ඩ්ලර්, මැලේසියා සුරැකුම්පත් වෙළෙඳ පොළ සංවර්ධනය පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අස්මන් හිෂාම් බින් චෙ ඩොයි සහ ඔස්ට්‍රේලියානු ස්මාට් ස්ටෙප්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොබට් ඩ්‍රේක් යන මහත්වරු වූහ.