අයවැයෙන් පැනවූ වාහන බදුවල කිසිදු අඩුවීමක් හෝ ඉවත් කිරීමක් නෑ - රවි
2016 අයවැය යෝජනා මගින් පනවා ඇති රථ වාහන බදු කිසි ලෙසකින් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු නොකරන බවත්, එබැවින් රථ වාහන සම්බන්ධයෙන් අලෙවිකරුවන් සේම පාරිභෝගිකයන්ද ව්‍යාකූල තත්ත්වයකට පත් නොවිය යුතු බවත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමග 12 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති හමුවක දීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
“අයවැයෙන් පසුව අදහස් විමසීම සඳහා තමයි රථ වාහන ආනයනකරුවන් සමග මේ සාකච්ඡාව පැවැත් වූවේ. ඒ සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණ තමයි, අයවැයේ ඇතැම් යෝජනා වෙනස් වෙයි කියන පූර්ව නිගමනය මත වාහන වෙළෙඳ පොළ තුළ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබීම. මේ පැතිර යන කතා සියල්ල අසත්‍යයි. අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ වැටිල තියෙන රට යළි නැගිට්ටවල ගන්න. ඒ සඳහා දීර්ග කාලීන සැලැස්මක් අනුව යන ගමනක් අපට තියෙනවා. ඒ නිසා බොහොම වගකීමෙන් කියන්නෙ, රථ වාහන ආනයනය සම්බන්ධයෙන් වන යෝජනාවල කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ. ඒ නිසා අලෙවිකරුවන්ට සහ පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නෙ අනාගත මිල ගණන් ගැන නොසිතා වර්තමාන මිල ගණන් යටතේ ගනුදෙනු කරගෙන යන්න කියලයි” යනුවෙන් පවසා සිටියේය.
'ඉදිරියේදී ආනයනය කරන වාහන මිල, දැනට
ආනයනය කර ඇති වාහනවල මිලටත් වඩා වැඩිවේවි'
දැනට ආනයනය කර ඇති වාහන මිලදී ගන්නා ලෙසත්, ඒවායේ මිල කිසියම් මට්ටමකට ඉහළ ගොස් තිබුණත්, ඉදිරියේදී ආනයනය කරන වාහන ඊටත් වඩා මිල වැඩිවේවි යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසා සිටියේය.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා පවසා සිටියේ,
“ඉදිරියේදී රථවාහන මිල ගණන්වල මොන විදිහේ වෙනස්වීමක් වෙයිද කියන කාරණාවත් එක්ක දේශීය රථ වාහන වෙළෙඳ පොළේ මේ දිනවල දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. ඒ නිසා තමයි අපි සංගමයක් විදියට මුදල් අමාත්‍යවරයා හමුවෙලා සාකච්ඡා කළේ. ඒ අනුව, ඉතාම පැහැදිලියි, 2016 අයවැය මගින් රථ වාහන ආනයනය වෙනුවෙන් පනවපු බදු කිසිවක් සංශෝධනය නොවන බව. රටට අවශ්‍ය දේ තමයි සිදුකරල තියෙන්නෙ කියල අමාත්‍යවරයා ඉතා පැහැදිලව කිවුවා. ඒ අනුව, ඉදිරියේදී වාහන මිල ඉහළ යාමක් සිදුවීමේ කිසිදු වෙනසක් නැහැ. ඒ නිසා පාරිභෝගිකයන්ට අපි කියන්නෙ, මේ වනවිට ආනයනය කරල තියන වාහන දැන් පවතින මිලට මිලදී ගන්න කියන කාරණාවයි. අපිත් කැමැතියි රජය ගෙන යන මේ වැඩපිළිවෙළට සහාය දෙන්න. ඒ නිසා දැනට ආනයනය කරල තියෙන වාහන මිලදී ගන්න. ඒවායේ මිල කිසියම් මට්ටමකට ඉහළ ගිහින් තියෙනවා. නමුත් ඉදිරියේදී ආනයනය කරන වාහන ඊටත් වඩා මිල වැඩිවෙයි.” යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

