ව්‍යවසායිකාවන්ට අපනයන වෙළෙඳ පොළ වැඩසටහනක්
Export Marketplace යනු අපනයනය සඳහා සූදානම් ව්‍යවසායකයන් සහ අලෙවිකරණයට සම්බන්ධ විවිධ සේවා සපයන්නන් එකම ස්ථානයකදී මුණගැස්වීමය. පවත්නා අපනයනකරුවන්ට සහ අපනයන වෙළෙඳ පොළ සඳහා නවකයන්ට වෙළෙඳ පොළ ප්‍රවේශය ලබා ගැනීමටත්, වඩාත් සංකීර්ණ ගැනුම්කරුවන්ට වෙළෙඳ පොළ තුළ ඔවුන්ගේ ප්‍රබලතාව සහ වටිනාකම් ශක්තිමත් කිරීමටත්, සමාගම්වල ක්‍රියාකාරීත්වය සහ තාක්ෂණය වලංගුභාවය ප්රත්යක්ෂ කිරීමටත් අපනයන නියමු ව්‍යාපෘතිය මනා පිටුවහලක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
අපනයන ක්රියාවලියෙහි නියැලෙන කාන්තාවන් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරීව දායකවීමේ අරමුණින් 2017 වසරේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කාන්තා Cell ආරම්භ කරන ලදී. ගෙවුණු අතීතය තුළ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය යන තේමාව ඔස්සේ ව්‍යවසායිකාවන් අපනයන වෙළෙඳ පොළට ප්‍රවේශ කරවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විවිධ වැඩසටහන් දියත් කර ඇත. EDB කාන්තා ව්‍යවසායකත්ව දත්ත ගොනුවෙහි මේ වනවිට ලියාපදිංචි වී සිටින කාන්තාවන් සංඛ්‍යාව 800කට අධික වන අතර, ඔවුන් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට නිෂ්පාදන සහ සේවා සපයන සහ වක්‍රාකාරව අපනයන කරනු ලබන ව්‍යවසායිකාවන්ගෙන් සමන්විතය.
ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී ඇති පරිදි ඔවුන් මුහුණදෙන ගැටලු කිහිපයක් පවතින අතර, ඒවායේ ව්‍යාපාර තවදුරටත් පවත්වා ගෙනයාම සඳහාත්, වෙළෙඳ පොළ තුළ තිරසාරත්වය සහතික කිරීම සඳහාත්, තවදුරටත් දිරිමත් කිරීමේ ක්ෂණික විසඳුමකට යොමුවීමේ අවශ්‍යතාවක් පවතී. මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව එබඳු ගැටලු විසඳා ගැනීම පහසු කිරීමටත්, එම ගැටලු නිරාකරණයටත් EDB මගින් පියවර කිහිපයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCCI) විසින් ලබාදෙන දිරිමත් සහ ගෞරවනීය කාන්තාවන් උදෙසා ලබන වසරේ කාන්තා අපනයනකරු සම්මානය සඳහා EDB අනුග්‍රහය දක්වනු ලබයි. ව්‍යවසායිකාවන්ට පවතින ජාත්‍යන්තර අවස්ථා ඉස්මතු කරමින් 2017 වසරේදී EDB ශ්‍රී ලංකාව තුළ ITC %SheTrade^ වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය. SheTrades ලොව පුරා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ සමාගම් ගැන තොරතුරු හුවමාරු කිරීම, පාරදෘශ්‍යබව ඉහළ නැංවීම, ජාල පුළුල් කිරීම, වෙනත් ව්‍යාපාර සමග සම්බන්ධ කිරීම සහ ජාත්‍යන්තරකරණය කිරීම සඳහා හොඳ අඩිතාලමක් බව කියැවේ.
මෙම ක්‍රියාවලියේදී, ගෝලීය සැපයුම් දාමයට ව්‍යවසායිකාවන්ගේ දායකත්වය උපරිම කිරීමේ අරමුණ ඇතිව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන්ගේ අපනයන හැකියාවන් ශක්තිමත් කරවීම සඳහා 'Export Marketplace -අපනයන වෙළෙඳ පොළ' වැඩසටහන ඉතා වැදගත් මෙවලමක් ලෙස EDB හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමාරම්භක 'Export Marketplace' වැඩසටහන 2018 මාර්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 ට කොළඹ 02, නවම් මාවතේ, අංක 42, NDB-EDB කුලුණෙහි, 3 වැනි මහල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. අලෙවිකරණ උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම, සේවා සපයන්නන් හඳුන්වාදීම, ඔවුන්ගේ වෙළෙඳ උපාය මාර්ග ඉදිරිපත් කිරීම හා අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීම සඳහා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා ඔවුන් දිරිගැන්වීමත් මෙහි ඉලක්ක ගත අරමුණු වේ.
අපනයන විභවයන් සහිත ව්‍යවසායිකාවන් 20 දෙනෙකු මෙම වැඩසටහන යටතේ හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ අලෙවිකරණ උපායමාර්ගය පිළිබඳව කමිටු සාමාජිකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත. ඒ එක් එක් ව්‍යවසායිකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඇතුළු වීම සඳහා අවශ්‍ය තත්ත්ව පිළිබඳ කමිටුව විසින් දැනුවත් කිරීම් කරනු ඇත. විනිශ්චය මණ්ඩලය විසින් ව්‍යවසායිකාවන් ඇගයීමට ලක් කරනු ලබන අතර, හොඳම අලෙවිකරණ උපක්‍රම ත්‍රිත්වය සඳහා අන්තර්ජාතිකව තම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ඔවුන් විසින්ම ප්‍රධාන වශයෙන් අයැදුම් කරනු ලබන සේවා ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙනු ලැබේ.
මෙම වැඩසටහන සඳහා සහභාගී වන සේවා සපයන ආයතන මගින් වෙළෙඳ පොළ තොරතුරු, අපනයන පුහුණුව, අපනයන ප්‍රවර්ධන සහ අලෙවිකරණය, මූල්‍යය, නීතිමය සහාය, පර්යේෂණ සහ සංවර්ධන, ඇසුරුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය ආදී විෂයය ක්ෂේත්‍ර ආවරණය කරනු ලබන බව පැවසේ. මෙහිදී, සෑම ව්‍යවසායිකාවක් වෙතම සහතිකපත් ප්‍රදානයන් සිදුකරනු ලබන අතර පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහාද වෙන වෙනම ඔවුන් අයැදුම් කරනු ලබන සේවා සඳහා EDB මගින් මුදල් ප්‍රදානයන් පිරිනමනු ලබන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

