2018 අයවැය යෝජනා අතර වූ 'ව්‍යවසායක ශ්‍රී ලංකාවක්' යන මැයෙන් රජය ඉදිරිපත් කර ඇති නව සංකල්පය ඉතාමත් ප්‍රශංසනීය බවත්, එය රට තුළ ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සාධනීය පියවරක් වනු ඇති බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම සඳහා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
එහිදී, 2018 අයවැය යෝජනා සම්බන්ධයෙන් ඉස්මතු වූ 'ව්‍යවසායක ශ්‍රී ලංකාවක්' සංකල්පයත් සමග 'ව්‍යවසායක ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය' සහ කෘෂි ක්ෂේත්රය සංවර්ධනය මෙන්ම, කාන්තා හා තරුණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් රජය යෝජනා ඉදිරිපත් කර ඇති බව එම මණ්ඩලය පවසයි.
ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මූල්‍ය අවශ්‍යතා සඳහා රු.බිලියන 10ක් වෙන්කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමට රජය යෝජනා කිරීමත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ලබාගැනීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථපිත කිරීමේ යෝජනාවද මෙහිදී පැසසුමට ලක්විය.
නීල ආර්ථිකය වැඩසටහන යටතේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම දිරිගැන්වීම සහ ධීවර අංශය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ යෝජනා මෙහිදී අගය කර ඇති අතර, මහනුවර, ගාල්ල, අනුරාධපුරය සහ යාපනය යන නගර සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති මගින් කලාප සඳහා ආර්ථික ප්රතිලාභ ලබාදෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
එමගින් කලාපය සඳහා බෙහෙවින් අවශ්‍ය සමාන සංවර්ධන අවස්ථා සැපයීම සහ රට තුළ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහාද සහාය වනු ඇති බවත්, රටේ මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරන අතර රජය ඉදිරිපත් කර ඇති නිර්මාණාත්මක යෝජනා වන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සහ සියලු විද්‍යුත් වාහන සඳහා බදු අඩු කිරීම ප්‍රශංසනීය බවද එම සංගමය පෙන්වා දෙයි.
මීට අමතරව, ආදායම් අංශ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති අනුකූලතාවන් පිළිබඳ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ අදහස වන්නේ කෙටි කාලීන තාවකාලික ආදායම් ප්‍රතිපත්තිවලට වඩා මධ්‍ය කාලීන ආදායම් ප්‍රතිපත්ති යෝග්‍ය බවය. කෙසේ වෙතත්, මේ යෝජනා ඒ ආකාරයෙන්ම සවිබල ගැන්වීම රජයට බලවත් අභියෝගයක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
සුළු හා මධ්‍ය පරිමාණ අංශ සංවර්ධනය අරමුණු කොට ගෙන රු.බිලියන 10ක මුදලක් වෙන් කිරීම සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් කාලෝචිත බවද ඔවුන් පවසයි. අමතර බදු (Para-tariffs) ඉවත් කරමින් ආයෝජනය සඳහා පැහැදිලි පසුතලයක් ඇති කිරීමට රජය ගන්නා උත්සාහය යහපත් බවද ඔවුන් පවසයි. එමෙන්ම, වෙළඳ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති තනි කවුළු පද්ධතිය (Single Window System) සහ වාණිජ තොරතුරු ද්වාරය (Trade Information Portal) අභියෝගාත්මක වුවද එය ප්‍රමාදයකින් තොරව ඉටුවීම බලවත් අවශ්‍යතාවක් බවද ඔවුන් පෙන්වා දෙයි. තවද දෙශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරඹයා ගෙන ඒමට නියමිත ප්‍රපාතන නීති (Anti-dumping Laws) ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් වසර දෙකක් පුරා රජයට කරුණු දක්වා ඇති අතර එම පියවරද මෙහිදී අගය කිරීමට ලක්ව තිබේ.
ඒ අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඇ.ඩො.බිලියන 5ක් දක්වා විදේශ ඉපැයීම් වැඩි කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ අංශය සඳහා වැඩි අවධානයක් ලබාදී ඇති අතර, මෙම වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ ආරම්භකයන්ට සහාය දැක්ව්ම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා රු.බිලියන 3ක් වෙන්කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
අවසන් වශයෙන් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය තුළ පිහිටුවීමට නියමිත ආයතනය ජාතික වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්වන බවත්, රජය විසින් ඉදිරිපත් කර ඇති සියලු අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සහ හැකියාව ලැබේවා යන්න, ජාතික වාණිජ මණ්ඩලයේ ප්‍රාර්ථනය බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.
ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ