ලංකා බැංකුව සතු සෙලාන් කොටස් පිළිබඳ පසු කතාවක්
ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය හෙවත්, කොටස් මිලියන 13ක් විදේශීය ආයෝජකයෙකුට විකුණා දැමීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාගේ නියෝගය මත එම ගනුදෙනුව අවලංගු කෙරුණු බව මේ වනවිට සමාජයේ කතාබහ කෙරෙන කාරණයකි.
සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 13ක් (13,198,305) ලංකා බැංකුව සතුව පැවති අතර, මෙය සෙලාන් බැංකුවේ නිකුත්කළ කොටස් ප්‍රමාණයෙන් 7.5% කි.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටෙමින් තිබියදී සෙලාන් බැංකුව ආරක්ෂා කිරීම සඳහා එවකට ලංකා බැංකුව මැදිහත්කරුවෙකු ලෙස සම්බන්ධ කෙරුණු අතර, මේ වනවිට සෙලාන් බැංකුව ඉහළ ලාභ ලබන බැංකුවක් බවට පත්ව ක්‍රියාත්මක වෙමින් පවතින බවද නොරහසකි.
කෙසේ වෙතත්, පසුගිය 16 වැනිදා සිදුවූ මෙම ගනුදෙනුවේදී එක් කොටසක් රු.100/- බැගින් අලෙවි වූ අතර, රු.බිලියන 1.32ක (1,319,830,500) පිරිවැටුමක් ඉන් වාර්තා කෙරිණි. ප්‍රබල ආසියාතික රටක විදේශීය ආයෝජකයෙකු මෙම කොටස් මිලදී ගැනීමට කටයුතු කර තිබූ අතර, එහිදී, අදාළ කොටස්, වෙළෙඳ පොළ වටිනාකමකට වඩා රු.15/-කට වැඩියෙන් විකිණීමටද ලංකා බැංකුව කටයුතු කර තිබුණි.
එනමුදු, අවසානයේදී කොටස් මිලදී ගත් හා කොටස් විකිණූ දෙපාර්ශ්වයටම කොටස් තැරැව්කාර සේවාව සැපයූ ජේ.බී. සෙකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගමේ ඉල්ලීම මත කොටස් වෙළෙඳ පොළ විසින් මෙම ගනුදෙනුව අවලංගු කර තිබුණි. ඒ සඳහා ගනුදෙනුකරු හා විකුණුම්කරු යන දෙපාර්ශ්වය විසින්ම අනුමැතිය ලබාදී තිබීමත් කැපී පෙනුණි.
රජයේ පාර්ශ්වයෙන් අදාළ ගනුදෙනුව හිටිහැටියේ අවලංගු කිරීම සම්බන්ධයෙන් සඳහන් කෙරුණේ, මෙම ගනුදෙනුව සඳහා ලංකා බැංකුව රජයෙන් හෝ අදාළ අමාත්‍යවරයාගෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබුණු බවට කතාවකි. එමෙන්ම, මෙම ගනුදෙනුවට සම්බන්ධ ආයෝජකයාගේ විශ්වසනීයත්වය පිළිබඳවද යම් කුකුසක්ද මතුවී තිබුණි.
කෙසේ වෙතත්, මෙවැනි ගනුදෙනුවකදී ලංකා බැංකුවට අධ්යක්ෂ මණ්ඩලයෙන් හැර වෙනත් පාර්ශ්වයකගෙන් අවසරයක් අවශ්‍ය නොවන බවද කියැවේ. මන්දයත්, ලංකා බැංකුවේ පසුගිය වාර්ෂික වාර්තාවෙන්ම අදාළ කොටස් ප්‍රමාණය ඕනෑම අවස්ථාවක විකිණීම සඳහා තිබූ කොටස් ප්‍රමාණයක් බව සඳහන් කර තිබූ බැවිනි. එවැනි වාතාවරණයක ලංකා බැංකුවේ අරමුදල් කළමනාකරුවන්ට රජයෙන් හෝ අදාළ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ අවසන් තීරණය මත මෙවැනි ගනුදෙනුවක් සිදුකළ හැකිය යන මතයද පවතී. ඒ අනුව, ලංකා බැංකුව සිතාමතා වරදක් කර නොමැති බවද හැඟීයයි.
මේ අතර, අදාළ ගනුදෙනුවේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් එවැනි ආයෝජනයක් වහාම නැවැත්වීමට කටයුතු කිරීමේද කිසිදු ආකාර ගැටලුවක් නොමැත. බොහෝ විට අග්‍රාමාත්‍යවරයාට අපට වඩා තොරතුරු ලැබෙන බැවින්, එවැනි තීරණයක් මත හෙතෙම එම නැවැත්වීම සිදුකළා විය හැකිය. එනමුදු, අදාළ විදේශීය ආයෝජකයා හොඳ ආයෝජකයෙකු නම්, විශේෂයෙන්ම මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ කොටස් තැරැව්කාර ආයතනයද සිය විශ්වසනීයත්වය බොහෝ කාලයක් රැකගත් ආයතනයක් බැවින්, එම ගනුදෙනුව අවලංගු කිරීම හරහා රටට පැමිණෙන විදේශීය ආයෝජක විශ්වාසය බිඳ වැටීම නොවැළැක්විය හැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ නිසා, ලංකා බැංකුව සතු සෙලාන් බැංකු කොටස් විකිණීම හා එය අවලංගු කිරීමේ සැබෑ යථාර්ථය හෙළිකිරීම යහපාලන රජයේද වගකීමක් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
