ඉන්දියාවේ දියුණුව ශ්‍රී ලංකාවේද දියුණුව වන අතර, ශ්‍රී ලංකාවේ දියුණුව ඉන්දියාවේද දියුණුව බවත්, ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්රවල ඉන්දීය ආයෝජන වර්ධනය වෙමින් පවතින බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ පසුගිය 26දා පැවති ඉන්දියාවේ 68 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය තානාපති නිල නිවසේ පවත්වනලද උත්සවයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් ඉන්දීය රජයට සහ ජනතාවට සිය 68 වැනි ජනරජ දිනය නිමිත්තෙන් අපේ ශුභාශීංසනය පිරිනැමීමට මා කැමතියි. මහ කොමසාරිස්තුමනි, මෙය ඔබවද පිළිගැන්මට අපට අවස්ථාවක් වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉතා කිට්ටු මිතුරන් වෙනවා. අපේ එක් හිටපු ජනාධිපතිවරයෙක් ප්‍රකාශ කළ පරිදි අපි ඉන්දීය ලෝලීන් වන අතර, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයාගේ අනුගාමිකයන්ද වෙනවා. ඒ ඉතා ශක්තිමත් බැම්මක්. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ දිගින් දිගටම අපේ සබඳතාව පිළිබඳව සාක්ෂි හෙළිදරව් කරනවා.
යටත් විජිත යුගයේදී අපේ නායකයන්ද, ඉන්දියාවේ නායකයන් සමග නිදහස සඳහා උරෙනුර ගැටී සටන් කළා. මහත්මා ගාන්ධි, පණ්ඩිත් ජවහල්ලාල් නේරු, ජනාධිපති රාධා ක්‍රිෂ්ණන් සහ තවත් විශිෂ්ට ඉන්දීය ජන නායකයන්ද, ඉතා මෑතකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි අප මේ රටේදී දුටුවා. ඒ නිසා මෙය ඉතා දැඩි සම්බන්ධතාවක් වන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව වෙන්කළ නොහැකියි.
ඉන්දියාව දැනට ප්‍රකට කරන ඉතා ශක්තිමත් ආර්ථික වර්ධනයේ අපද ප්රතිලාභ ලබන්නන් වෙනවා. ඉන්දියාව විශාල ජනගහනයක් ඇති රටක් පමණක් නොව, ශක්තිමත් ප්රජාතන්ත්රවාදී සම්ප්රදායක් ඇති රටක්ද වෙනවා. ඉන්දියාව මේ විස්මයජනක ආර්ථික ප්‍රගතිය ලබාඇත්තේ ඒ ප්රජාතන්ත්රවාදී රාමුව තුළිනුයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැමදාම එකිනෙකාගේ ආර්ථික ප්රගතියෙන් ප්රතිලාභ ලබා තිබෙනවා. දැන් ඉන්දීය ආයෝජකයන් බොහෝ ක්ෂේත්රවල ආයෝජනය සඳහා පැමිණෙමින් සිටිනවා.
මෑතකදී ඉන්දියාව විසින් ගිලන් රථ මේ රටට ලබාදීම ගැන මා සඳහන් කළ යුතුයි. පිටිසර ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන් මා එම පහසුව දිවයිනේ සෑම ප්රදේශයකටම ව්‍යාප්ත කරනු ලැබීම අපේක්ෂා කරනවා.
ඒ වගේම, ධීවරයන්ගේ ප්රශ්නය පිළිබඳව ප්‍රගතියක් ඇතිවෙමින් තිබෙනු දක්නට ලැබීම සතුටට කරුණක්. ඒ සඳහා අමාත්‍ය මට්ටමේ වැඩි සම්බන්ධතාවක් ඇතිව ක්‍රියාත්මක වන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා තිබෙනවා. හිටපු මුදල් අමාත්‍යවරයෙකු වශයෙන් මා සිහිපත් කරන්නේ, අප දුෂ්කරතාවලට මුහුණදී සිටි අවස්ථාවලදී මුලින්ම අපේ උදව්වට පැමිණියේ ඉන්දියාව බවයි. අවසාන වශයෙන්, අප ඔබේ ක්‍රිකට් කණ්ඩායම ඉහළින්ම අගය කරන්නන් බවද සඳහන් කළ යුතුයි. මේ අවස්ථාවේදී නැවතත්, ඉන්දීය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඉන්දීය රජයට සහ ජනතාවට අපේ ශුභාශිංසනය පළකර සිටිනවා." යැයි පවසා සිටියේය.