දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රජයට බරක් නොවී මහපොළ අරමුදල ශක්තිමත් කිරීම එහි අරමුණ බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
පසුගිය 15දා කොළඹ අපනයන සංවර්ධන මණ්ඩලයේදී අදාළ නිළධාරීන් හමු වී මහපොළ ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකළේය. මෙම සාකච්ඡාවට මහපොළ භාරකාර අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගී වී තිබේ.
නව මහපොළ ආරම්භයේදී කාලීන අවශ්‍යතා තේරුම් ගෙන අනාගත තරුණ පරපුර උසස් ජීවනෝපායන් සඳහා යොමු කිරීමටද අවධානය යොමු කරන අතර, විශ්ව විද්‍යාල, තාක්ෂණ විද්‍යාල හා පාසල් ශිෂ්‍යන් මෙන්ම, පාසල් හැර ගිය තරුණ පිරිස පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත්, ඔවුන්ට අනාගත රැකියා වෙළෙඳ පොළ සඳහා පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසීම මහපොළ තුළින් සිදුකිරීමට අපේක්ෂිත බවත් සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
ඒ අනුව, වසරකට මහපොළ ප්‍රදර්ශන 3 - 4 ප්‍රමාණයක් දිවයිනේ විවිධ පළාත්වල පැවැත්වීමට අවධානය යොමුවී ඇති අතර, එහිදී ප්‍රදේශයේ තෝරාගත් පාසැල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය, කැපකරු මාපිය රැකවරණ ක්‍රමයක් ආරම්භ කිරීම වැනි විවිධ සුබ සාධන වැඩසටහන් රැසක් මීට සමගාමීව ආරම්භ කිරීමටද සූදානම් වේ.
මීට අමතරව, ප්‍රදේශයේ නව නිපැයුම්කරුවන් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කිරීම, විවිධ රැකියා අවස්ථා පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම, නව අපනයනකරුවන් හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමද මහපොළ තුලින් සිදුකිරීමට බලාපොරොත්තු වේ.
ඒ අනුව අධ්‍යාපන, වෙළෙඳ හා විනෝදාස්වාදය කැටි වූ දිවයිනේ විශාලතම ප්‍රදර්ශන සැණකෙළිය ලෙස නැවතත් මහපොළ ප්‍රදර්ශනය ආරම්භ වන බව වැඩිදුරටත් සඳහන් වේ.