ආහාර හා පෝෂණ මාසය වෙනුවෙන් නිරෝගී පරපුර රටේ ශක්තියයි යන තේමාව යටතේ ජාතික පෝෂණ ලේකම් කාර්යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය එක්ව සංවිධානය කළ ජාතික පෝෂණ පා ගමන සහ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19දා) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
ක්‍රියාශීලී නීරෝගීමත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත්වීමට නම් ආහාරවලින් සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් වැළකීම සහ උසස් පෝෂණ මට්ටමින් යුතු ආහාර පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.
ජාතික පෝෂණ පා ගමන කාර්මික තාක්ෂණ ආයතනයේ තෙවැනි දොරටුවෙන් උදෑසන 7.00 ට ආරම්භ කෙරුණු අතර, එය ටොරින්ටන් චතුරස්‍රය හරහා කුරුඳුවත්ත පොලීසිය අසලින් ගමන් කර ආචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ බෞද්ධාලෝක මාවතෙන් පැමිණ නැවත කාර්මික තාක්ෂණ ආයතනය වෙත ළඟා විය.
අනතුරුව කාර්මික තාක්ෂණ ආයතනයේ පැවැත්වෙන ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අතර දේශීය ආහාර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කෙරෙන ප්‍රදර්ශන කුටි 34කින් එය සමන්විත විය.
වසවිස නැති ආහාර වර්ග, සහල් වර්ග, වසවිස නැති පලතුරු, එළවළු, කැවිලි වර්ග හා පෝෂණයෙන් සපිරි නෙකුත් ආහාර වර්ග රස විඳීමට සහ මිලදී ගැනීමට එහිදී ජනතාවට පහසුකම් සලසා ඇති බව කියවුණි.
ජනාධිපතිවරයා ප්‍රදර්ශන භූමියේද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළෙඳ මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත විය.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යාශයේ ලේකම් ධාරා විජේතිලක, කාර්මික හා තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.