Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මනුෂ්‍යත්වයේ පාගමන හා කැට ව්‍යාපාරය අද කොළඹදී
‘අපේ දරුවගෙ සැත්කමට දිනයක් ලැබෙන තුරු අපි ජීවත් වුණේ මළවුන් වගෙයි’
“ඇත්තටම අපේ බබාට මේ වගේ දරුණු හෘද රෝගයක් තියෙනව කියල දැනගන්න කොට එයාගෙ වයස දවසයි. ඒ ගිය අවුරුද්දෙ අගෝස්තු 29 වැනිදා. අපිව රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග සායනයට යොමුකෙරුණා. එතැනදී තමයි අපි දැනගත්තෙ, හෘද රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පොරොත්තු ලේඛනයේ දරුවන් විශාල පිරිසක් ඉන්නව කියලා. ඉතිං අපේ දරුවගෙ සැත්කමට දිනයක් ලැබෙන තුරු අපි ඇත්තටම ජීවත් වුණේ මළවුන් වගෙයි. සාමාන්‍ය අසනීපයක් වගේ නෙමෙයි, දරුව කොයි වෙලාවෙ අසාද්‍ය තත්ත්වයට පත්වෙයිද කියන බය හැම මොහොතකම අපේ සිත්වලට දැනුණා. හැම තත්පරයක්ම ගෙවුණෙ, ජීවිතය ගැන මහා බයක් සමගයි.”
දරුණු හදවත් රෝගයකින් පීඩා විඳි තම කිරිකැටියා අතින්ගත් මවකගේ හදවතින් නැගුණු හඬ මොහොතකට අප සියලුදෙනා රැඳී සිටි ශ්‍රවණාගාරය නිහඬ කරන්නට විය. රිජිවේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව රු.කෝටි 200ක වියදමින් දසමහල් හෘද රෝග සහ දැඩි සත්කාර ඒකක සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පිහිටුවන ලද 'ලිට්ල් හාට්ස්' ව්‍යාපෘතියට අරමුදල් රැස්කිරීමට සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අද (14දා) කොළඹදී පැවැත්වෙන 'පුංචි හදට සුවය දෙන්න, මනුෂ්‍යත්වයේ පාගමන' පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් එම රෝහල් ශ්‍රවණාගාරයේදී පසුගියදා (08දා) පැවැත්විණි. අපි ඒ මවගේ කතාවට තවදුරටත් ඇහුම්කන් දී ඉදිරියට කතා කරමු.
"ඇත්තටම, රෝහලේ ගතකරන හැම මොහොතකම අපි වගේම, තමන්ගෙ දරුවගෙ සැත්කම වෙනුවෙන් අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්න දෙමවුපියන් විශාල පිරිසක් අපි දැක්කා. එයාල විඳින දුක අපි දැක්කා. ඇත්තටම මමයි, මහත්තයයි විතරක් නෙමෙයි, අපේ ඥාතීන්, අපේ හිතවතුන් හැමදෙනාම එක විදියට දුක්වුණා. හැමදාම කතා කරලා, මොනවද කරන්න පුළුවන්, මොනවද වෙන්න ඕනෙ කියන දේ ඇහුවා. නමුත් අපිට කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. හැමදේම රැඳිල තිබුණෙ මේ වෛද්‍යවරුන්ගේ අතේ. ඉතිං මට කියන්න ඕනෙ මේ වගේ දෙයක් වුණාට පස්සෙ, මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් අපි කාටවත් කරන්න දෙයක් නෑ. ඒ නිසා ඊට කලින් අපි ක්‍රියාත්මක වෙන්න ඕනෙ.
සැත්කමෙන් පස්සෙ දරුවා ටිකෙන් ටික සුවපත් වෙලා දැන් සනීපෙන් ඉන්නවා. අපේ දරුවගෙ සැත්කමින් පස්සෙ, දරුවා සනීප වුණාට පස්සෙ අපි ලබපු ඒ සැනසීම, ඒ සතුට ලබාගන්න බලාපොරොත්තුවෙන් දහස් ගණනක් දෙමවුපියො අපේ රටේ ඉන්නවා. අපේ දරුව සුවපත් වුණා වුණත්, මේ නව රෝහල් ඒකකය ඉදිවන තුරු තවමත් ඒ අවස්ථාව ලබාගන්න බැරිවුණු දරුවො අදටත්, හෙටටත් හැමදාම ඉඳීවි.
ඉතින් මම කියන්නෙ, ශ්‍රී ලංකාවෙ හැමෝම එකතු වුණොත්, මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඇත්තටම මේ වගේ දෙයක් අපිට වෙනකල්ම, මේ වගේ අවස්ථාවකට අපිට මුහුණදෙන්න වෙයි කියල අපි හිතුවෙ නැහැ. මේ දේට මුහුණදෙන්න සිදුවුණාට පස්සෙ තමයි අපි දැනගත්තෙ මොනතරම් අවදානමකටද අපි ලක්වෙලා ඉන්නෙ කියලා. අපේ දරුව ඉන්නෙ මොනතරම් අවදානමකද කියලා. අපේ රටේ දරුවො කීදෙනෙක් මේ වගේ ලොකු අවදානමක ඉන්නවද කියලා.
ඉතිං මම හිතනවා අපේ මේ පුංචි රටේ හදවතක් තියෙන හැම අම්මලා තාත්තලාගේම සහාය ලැබුණොත්, දරුවන්ට ආදරය කරන හැම මනුස්සයෙකුගේම සහාය ලැබුණොත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම මම උදව් කරන්න කියල ඉල්ලන්නෙ, අපේ දරුව වගේම අනෙක් සෑම දරුවෙක්ම එක වගෙයි. සෑම දෙමවුපියෙකුගේම දරු දුක එක වගෙයි. ඒ නිසා අනාගතයේදීත් උපදින්න ඉන්න දරුවන්ට ආදරය කරන මිනිස්සු හැටියට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අපි එකතු වෙමු."
ශ්‍රී ලංකාවේ දළ වශයෙන් වසරකට බිළින්දන් 3,000ක් පමණ හෘදාශ්‍රිත රෝග සමගින් මෙළොව එළිය දකින බව ඔබ නොදන්නවා විය හැකිය. ඉන් තුනෙන් දෙකකට පමණ යම් යම් ප්‍රතිකාර අවශ්‍ය වුවත් දැනට පවතින පහසුකම් අනුව සිදුකළ හැකිවන්නේ හෘද සැත්කම් 1,000ක් සහ හෘද කැතීටර යොදාගෙන කරන සැත්කම් 700ක් පමණි. මේ තත්ත්වය තුළ නිසි ප්‍රතිකාර කිරීමේ පහසුකම් නොමැතිකම නිසා වසරකට බිළින්දන් 1,500ක පමණ පිරිසක් අකාලයේ මිලින වී යති.
මෙම මට්ටමේ රෝහලක මුළු ඇඳන් සංඛ්‍යාවට සාපේක්ෂව ඇඳන් ප්‍රමාණයෙන් 10% - 30% අතර ඇඳන් ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකයේ තිබිය යුතු වුවද, දැනට මෙම දැඩි සත්කාර ඒකකය සතුව ඇත්තේ ඇඳන් 11ක් (මුළු ඇඳන් ප්‍රමාණයෙන් 1% - 2% ක්) පමණි. මෙය අවශ්‍යතාවයේ තරමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා රෝගී දරුවන්ගෙන් 60%ක්ම එම ඒකකයෙන් හරවා යැවීමට සිදුවෙයි. මේ තත්ත්වය තුළ ජීවිත අවදානමක් ඇති අසාද්‍ය තත්ත්වයේ පසුවන දරුවන්ට පවා සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලැබීමට සිදුවන්නේ ජීවිතයත් මරණයත් අතර අභාග්‍යසම්පන්න සටනක නිරත වෙමිනි.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ඉක්මනින්ම සාර්ථක කරගත හැකි වුවහොත්, අවම වශයෙන් වසරක් තුළ හෘද සැත්කම් 2,000ක් සහ හෘද කැතීටර යොදා කරන සැත්කම් 1,000ක් සිදුකිරීමට හැකි වන බවත්, මේ සංකීර්ණය තුළින් තවත් දරුවන් 10,000කට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සැලසෙනු ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කළහ. එනම් මේ මරණ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරගෙන, අකාලයේ මිලින වී යන බිළිඳු ජීවිත රැසක් අපේ මාතෘ භූමිය වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමට අපට හැකිවනු ඇත.
'අපි කාට, කොයි ආකාරයට මේ දේ හෙට දවසේදී සිදුවෙයිද කියල අපි දන්නෙ නෑ'
"මේ වගේ තත්ත්වයකට පත්වීම ජාති, ආගම්, කුල, පක්ෂ, පාට, භේදයකින් තොරව සිදුවන්නක්. කලින් කතා කරපු ඒ අම්මගෙ කුසට ඒ පුංචි කිරිකැටියා ආපු දවසෙ ඒ අම්මා කොයිතරම් සතුටු වෙන්න ඇතිද? නමුත් ඒ දරුවා මෙළොවට බිහිවුණාට පස්සෙ තමන්ගෙ දරුවගෙ හදවතේ සිදුරක් තියෙනවා කියල දැනගත් පසුව ඒ අම්මා කොයිතරම් හදවතින් හඬා වැටුණාද? ඉතිං මේ අවදානම හෙට දවසේදී අපි කාට කොයි ආකාරයට සිදුවෙයිද කියල අපි දන්නෙ නෑ. මේ රටේ ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේදයකින් තොරව පොදුවේ මිනිස්සු විදියට අපි හැමදෙනාටම මුහුණ දෙන්නට සිදුවෙන ප්‍රශ්නයක් මේ."
'ලිට්ල් හාට්ස්' ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්කිරීමේ යෝධ පියවරට සවියක් වෙමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සංවිධානයෙන් හෙට පැවැත්වෙන පාගමන පිළිබඳ දැනුවත් කරමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළේ, මේ මහා අවදානම ඔබට, මට හෙට දිනයේදී උරුම විය හැකි බව නොවේද? අපි උන්වන්සේට තවදුරටත් සවන් දෙමු.
"ඉතිං මේ විදියට අපි හොඳට තේරුම් ගන්න ඕනෙ, මෙවැනි තත්ත්වයකදී ඇතිවන සංවේදී බව. ඒක හඳුන්වන්නෙ කරුණාව කියලයි. 'පර දුක්ඛෙහි හදයං කම්පේතිති කරුණා...' තවත් කෙනෙකුගේ දුකේදී හදවත සංවේදී වන ස්වභාවයට තමයි, කරුණාව කියල කියන්නෙ. ඉතිං මේ කරුණාව කියන දේ පොදුවේ මිනිස්සු විදියට අපි හැමෝගෙම සිත් තුළ ඇතිවෙන්න ඕනෙ දෙයක්. ඉතිං අපි හිතනවා, රටක් විදියට හැමෝගෙම සිත්වල ඒ කරුණාව ඉපදුණොත්, ඒ කරුණාව නම් වූ උතුම් මිනිස් ගුණාංගයේම ප්‍රතිඵලයක් විදියට මේ රෝහල් පරිශ්‍රය ඉතාම ඉක්මනින් සාදා නිමකිරීමට වාසනාව උදාවේවි.
ඒ ආකාරයට ඉතාම ඉක්මනින් මේ රෝහල් ගොඩනැගිල්ල ඉදිකළොත් කිසිදු භේදයකින් තොරව සියලු ජනතාවට එයින් ප්රතිලාභ ලැබේවි. රටේ ජීවනාලිය බඳු අපේ අහිංසක පුංචි කිරිකැටියන් දහස් ගණනකගේ ජීවිත සුවපත් වේවි. ජීවිත ආරක්ෂා වේවි. ඒ දරුවන් අපේ රටේ අනාගතය සුන්දර කරමින් අනාගතයට මහත් වූ දායකත්වයක් ලබාදෙමින් මේ ලංකා දරණීතලයේ ඇවිදගෙන යාවි. මේ පොළොවේම හැදී වැඩී, රටට මහත් සේවයක් කරන අය බවට පත්වේවි. නමුත් ඒ කාරණය යථාර්ථක් බවට පත්කරන්න නම්, මේ රටේ සියලුම පුරවැසියන් මේ ජාතික කර්තව්‍යය ඉටුකිරීම වෙනුවෙන් එකාවන්ව එකතු වෙන්න ඕනෙ."
"ක්රිකට්වලදී විතරක් නෙවෙයි, සැබෑ ජීවිතයේදීත් ජයග්‍රහණය වෙනුවෙන් අපට එක්ව, එකමුතුව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. හැමෝගෙම උදව් ඒ සඳහා වැදගත්. අපි ලබන ජයග්‍රහණයේ සතුට විඳින්නෙ අපි විතරක් නෙවෙයි, මුළු රටම. ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය සමග එකතුවෙලා මුළු රටේම දරුවන් දිනවන්න කාලය දැන් අපිට ඇවිල්ල. ශ්‍රද්ධා රූපවාහිනිය සිදුකරන 'පුංචි හදට සුවය දෙන්න, මනුෂ්‍යත්වයේ පාගමන' සමගින් අපි සැවොම අත්වැල් බැඳගනිමු. පුංචි හදවත් සුවපත් කරමු."
- කුමාර සංගක්කාර
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කළ ගණන් බැලීමට අනුව රු.කෝටි 200ක් මෙම ව්‍යාපෘතියේ වියදම ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට උත්සාහ කරන විශාලතම අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙය හැඳින්වීමේ වරදක් නැත.
නමුදු, ශ්‍රී ලාංකේය ජනතාව රිජ්වේ ආර්යා ළමා රෝහල පිළිබඳ එදාමෙදා තුර තබා ඇති විශ්වාසයත්, පරිත්‍යාගශීලී අප සියලු ජනතාවගේ සවියත් මේ ව්‍යාපෘතියේ අනාගත සාර්ථකත්වය ගැන දැඩි විශ්වාසයක් එක්කරන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත යන මහත්වරු සපථ කළහ.
'මම මේ ව්‍යාපෘතියට දායක විය යුත්තේ ඇයි?' යන පැනය දැන් ඔබේ සිත්හි ඇතිවූවා විය හැකිය. ඔබගේ දරුවෙකු රෝගාතුර වුවහොත්, ඒ දරුවාට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලබාදීමේ සම්භාවිතාව 40%ක් පමණි. ඒ දරුවාට හදවතේ සිදුරක් යැයි රෝග විනිශ්චය ලැබුණොත් නිසි වේලාවේදී ශල්‍යකර්මයක් සිදුවීමේ සම්භාවිතාව 50%කි. ඒ අනුව දරුවාට නිසි ප්‍රතිකාර නොලැබීමේ හෝ ජීවිත අවදානමක් ඇතිවීමේ සම්භාවිතාව 50% - 70%ත් අතරය.
ඒ ඔබේ එකම දරුවා, ඔබේ දරුවෙක්, ඔබේ ඥාතියෙකුගේ, ඔබේ සමීප හිතවතෙකුගේ, ඔබේ කාර්යාලයේ සේවකයෙකුගේ දරුවෙක් නොවිය හැකිද? මේ කවරෙකු වුවද ඒ කිරිකැටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමේ ජාතික වගකීමක් අපට නැද්ද? මොහොතක් සිතන්න... අනාගත දරු පරපුර වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක විය යුතුද? ඔබේ පිළිතුර ඔබේ හදවතට දැනටමත් දැනී ඇති බව අපි දනිමු. අදම ඔබේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.
ඒ අනුව මේ උතුම් සිතිවිල්ල සිත්හි දරාගෙන ඔබත් මේ පුංචි කිරිකැටියන් වෙනුවෙන් අද (14දා) පෙ.ව. 8.00 සිට ප.ව.5.00 දක්වා කොළඹදී පැවැත්වෙන 'පුංචි හදට සුවය දෙන්න, මනුෂ්‍යත්වයේ පා ගමන' වෙත ඔබට හැකි අයුරින් දායකවන්න. කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී පිටකොටුව, කොටුව, බොරැල්ල, නගර ශාලාව ආදී ප්‍රධාන ස්ථාන පසු කරමින් ගමන් කෙරෙන පාගමනේ පැමිණෙන තරුණ දරුවන් වෙත ඔබේ ආධාරය පින් සිතින් ලබාදෙමින්, අපේම අනාගත දරු පරපුරේ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අපි සැවොම අත්වැල් බැඳගනිමු.
පාගමන පිළිබඳ වැඩි විස්තර සහ ඔබ හෝ ඔබේ ආයතනය ඉදිරියේදීත් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් නොමසුරු දායකත්වයක් දැක්වීමට සූදානමින් සිටින්නේ නම් 071-232 89 83 හෝ 071-775 48 96 යන දුරකථන අංකයන්ට කතා කරන්න.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd