2013 නොවැම්බර් මාසයේ අපනයන ආදායමත් ඇ.ඩො.බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, නොවැම්බර් මාසයේ අපනයන ආදායම ඇ.ඩො.මිලියන 1,032 ක් ලෙස වාර්තා විය.
2013 නොවැම්බර් මාසයේදී අපනයනවලින් ලැබූ ආදායම 2012 නොවැම්බර් මාසයේ ලද ආදායම සමග සැසඳීමේදී 24.7% ක වර්ධනයක් පෙන්වන බවත්, එම මාසයේ ආනයන වියදමේ 14.1% ක අඩුවීමක් පවතින බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
එමෙන්ම, සමුච්චිත අගයන් සැලකීමේදී 2013 මුල් මාස 11 තුළ අපනයන ආදායම 2012 එම කාලය සමග සැසඳීමේදී 5.6% කින් වර්ධනය වී ඇති බවත්, ආනයන වියදම අදාළ කාලයේදී 2.5% කින් අඩුවී ඇති බවත් පෙන්වා දෙයි. ඒ අනුව, 2012 මුල් මාස 11ට සාපේක්ෂව 2013 මුල් මාස 11දී සමුච්චිත වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 7,831 දක්වා 10.7% කින් අඩුවී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වෙළෙඳ හිඟයේ සිදුවූ මේ ශීඝ්‍ර අඩුවීම සමස්ත ශේෂය වර්ධනය වීමට හේතු වී ඇත. ආනයන වියදම් පහත වැටීම මෙන්ම, අපනයන ගමනාන්ත රටවල ආර්ථිකයන් ක්‍රමිකව යථා තත්ත්වයට පත්වීම අපනයන ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වීමෙන් පිළිබිඹු වන බවද මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව, ජංගම ගිණුමේ හිඟය අඩුවූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස එය තවදුරටත් ශක්තිමත් වූ බවද මහ බැංකුව පවසයි