“නැණසල දහස” ව්‍යාපෘතිය සම්පුර්ණ කරමින් දහස් වැනි නැණසල මධ්‍යස්ථානය ගලිගමුව බිසෝවෙල රජමහා විහාරස්ථානයේදී පසුගිය 26 වැනිදා පෙරවරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව “නැණසල දහස ව්‍යාපෘතිය” ආරම්භ කෙරුණු අතර, ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී 2005 වසරේ ජනවාරි 1 වැනිදා ඓතිහාසික කතරගම කිරි වෙහෙරේදී ප්‍රථම නැණසල මධ්‍යස්ථානය විවෘත කරමින් මෙම නැණසල දහස ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි.
විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම මෙම නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ මූලික අරමුණ වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම දහස් වැනි නැණසල මධ්‍යස්ථානය අති නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සහ යටිතල පහසුකම්වලින් සමන්විත බවද නියෝජිතායතනය පවසයි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණනය වන පරිදි විහාරස්ථාන දේවස්ථාන කෝවිල් මෙන්ම පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම නැණසල මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවද නියෝජිතායතනය සඳහන් කරයි.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් වාර්ෂිකව ප්රදානය කරනු ලබන ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහනට හිමි සම්මානය මෙවර හිමි වූයේද නැණසල වැඩසටහනට වීම විශේෂත්වයකි.
මෙරට පරිගණක සාක්ෂරතාව වර්ධනය වීමට නැණසල මධ්‍යස්ථාන රුකුලක් වී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය සමීක්ෂණ වාර්තා මගින්ද අනාවරණය කර තිබිණි.
දිවයිනේ සියලු නැණසල හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සහභාගිත්වයෙන් නැණසල කතිකාව මෙම විවෘත කිරීමට සමගාමීව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවද නියෝජිතායතනය පවසයි.