වර්තමානයේදී නවෝත්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය දළ ජාතික ආදායමට සාපේක්ෂව 0.016% ක් බවත්, එය ආසන්න වශයෙන් 1% ක්වත් විය යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පඨලී චම්පික රණවක මහතා පවසයි
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ 21 වැනි සියවසේ ප්‍රමිති තත්ත්වයන් පිළිබඳව පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රධාන විධායකයන් සහ කළමණාකාරීත්වය සමග පැවති සාකච්ඡාවකදීය.
"මෑතකදී නිකුත් වූ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ ශ්‍රීලංකාවට හිමිව ඇත්තේ 98 වැනි ස්ථානයයි. වර්තමානය වනවිටනවෝත්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය දළ ජාතික ආදායමට සාපේක්ෂව 0.016% කයි. එය ආසන්න වශයෙන් 1% ක්වත් විය යුතුයි. කොරියාව, ඊශ්‍රායාලය වැනි රටවල් නවෝත්පාදනයේ ඉදිරියෙන් සිටින රටවල්. ඔවුන් විද්‍යා පර්යේෂණ ක්ෂේත්රය සඳහා වාර්ෂිකව 4% ක් ආයෝජනය කිරීම ඊට ප්‍රධාන හේතුවයි. අපේ රටට වටිනා වස්තු සම්පත් රැසක් තිඛෙනවා. 4,000 කට වැඩි විද්‍යාඥයන් පිරිසක් අපිට සිටිනවා. අනෙක් රටවලට සාපේක්ෂව එයින් බහුතරයක් කාන්තාවන්ද වෙනවා. අපේ විද්‍යා ප්‍රජාව ගැන අපි ආඩම්බර විය යුතුයි."
"නමුත්, මේ විද්‍යාත්මක ප්‍රජාව රටේ ආර්ථීකයට, පෞද්ගලික හා රජයේ ආයතනවල දියුණුවට, ආර්ථීකයේ ධනය නිර්මාණය කරන්න කොපමණකින් දායක වී තිබේද යන්න ප්‍රශ්නයක් වෙනවා. මේ නිසා අපි ප්‍රමුඛතා කිහිපයක්, තාක්ෂණයන් කිහිපයක් හඳුනාගෙන ඒ දේවල් රජයට, ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යාංශයට යෝජනා කිරීමට සැලසුම් කර තිබෙනවා. සිවිල් සමාජය බලගැන්වීමට උසස් ප්‍රමිතියෙන් යුත් සේවා සහ භාණ්ඩ ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් නිර්මාණය කිරීම, රටට ගැළපෙන දිශානතීන් නිර්මාණය කිරීම ඔබ අප කාගේත් වගකීමක් වෙනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.