2013 දෙසැම්බර් මාසයේදී අපනයන ආදායම ඇ.ඩො.මිලියන 986 ක් ලෙස, 13.2% ක වර්ධනයක් සමග අඛණ්ඩව ඉහළ යෑමක් පෙන්වා ඇති බව මහ බැංකුව පවසයි.
පසුගිය මාස දෙකෙහිම අපනයන ආදායම ඇ.ඩො.බිලියනය ඉක්මවීය. කෙසේ වෙතත්, මෙවර ආනයන වියදම 2.1% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේදී අපනයන ආදායමේ වැඩිවීම ආනයන වියදමේ වැඩිවීමට වඩා වැඩි අගයක් වූ බැවින් වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 565ක් දක්වා 12.9% කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද මහ බැංකුව පවසයි.
දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඉහළ යෑම කෙරෙහි කාර්මික හා කෘෂිකාර්මික අපනයනවලින් ලැබූ ඉහළ ආදායම් හේතු වී ඇති බව පෙන්වා දෙයි.
දෙසැම්බර් මාසයේදී ආනයන වියදම ඇ.ඩො.මිලියන 1,551 ක් දක්වා 2.1% ක වර්ධනය පවතින අතර, පාරිභෝගික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ යන කාණ්ඩ දෙකෙහිම ආනයන වැඩිවීම මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව පවසයි.