ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා රාජ්‍ය අංශයට ඇවැසි පුහුණුව ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අතර අවබෝධතා ගිවිසුමකට එලැඹ තිබේ.
ඒ අනුව ඩිජිටල් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව විධිමත්ව සහ කාර්යක්ෂමව ලබාදීමට හැකියාව ලැබෙන බව නියෝජිතායතනය පවසයි.
මෙම අවබෝධතා ගිවිසුමට එලැඹීමත් සමගම ආයතන දෙක අතර මනා සබඳතාවකින් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සතු මානව සහ භෞතික සම්පත් ඉතා ඵලදායී ලෙස මේ සඳහා යොදාගැනීමට පහසුකම් සැලසෙන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
තවද, ජංගම දුරකථන, ටැබ් මෙන්ම නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් ආශ්‍රිතව දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියක් ඔස්සේද මෙම පුහුණුවීම් සිදුකිරීමට නියමිතව ඇති අතර, මේ යටතේ රාජ්‍ය අංශය පුරා පැතිරුණු ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලිය මේ වනවිටත් අරඹා ඇති බවද නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙනුවෙන් එහි අධ්යක්ෂ ජනරාල් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ මුහුන්දන් කනගේ මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.