ජීවන මගෙහි ඉතා උසස් ප්‍රගතියක් සඳහා CIMA
වර්තමානයේ ලොව වටා සිටින විශාල පිරිසකට සිය ජීවන මගෙහි ඉතා උසස් ප්‍රගතියක් අත් කරගැනීම සඳහා CIMA සුදුසුකම ඉවල් වී ඇති බව සනාථ කිරීමට හොඳම නිදසුනක් ලෙස NMK හෝල්ඩිංන්ග්ස් නම් වූ ඇ.ඩො. මිලියන 140ක පිරිවැටුමක් සහිත ප්රමුඛ පෙළේ ආයතන සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන, මංජුල ප්‍රියදර්ශන මහතා ගෙන හැර දැක්විය හැකි බව CIMA ආයතනය පවසයි.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප් සතර හැදෑරු ඔහු, අ.පො.ස උසස් පෙළ විභාගයේදී වාණිජ විෂය ධාරාවෙන් මුළු දිවයිනෙන්ම 20 වැනි ස්ථානය හිමි කරගන්නට සමත් වී ඇත. ඔහු වර්තමානයේ බොහෝ සිසුන් පිළිපදින ක්‍රමය අනුකරණය කරමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන කටයුතු අරඹන තෙක් CIMA අධ්‍යයනය ආරම්භ කරනලද බවත්, එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රැකියාවක නියැලී ඇති බවත් එම ආයතනය පවසයි.
එදා ඔහු ලබාගත් CIMA සුදුසුකම අද වනවිට, ආහාරයට සුදුසු තෙල් වර්ග නිෂ්පාදනයේ දශක තුනක කාලයක සිට නියැළී සිටින 'මරිනා' යන වෙළෙඳ සන්නාමයෙන් කා අතරත් ප්‍රචලිත විවිධ නිෂ්පාදන රැසක් හඳුන්වාදී ඇති ප්රමුඛ පෙළේ ආයතනයක් වන NMK හෝල්ඩිංන්ග්ස් ආයතන සමූහයේ මෙවැනි උසස් ස්ථානයක් අත්කර ගැනීමට මගපාදා දී ඇති බවද එම ආයතනය පවසයි.
මංජුල ප්‍රියදර්ශන මහතා තම අත්දැකීම් සහ ලබාගත් ප්‍රගතීන් පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් පවසා සිටියේ, වර්තමානයේ සිටින ව්‍යාපාර නායකයන් සිය කණ්ඩායම දියුණුව කරා මෙහෙය වනවිට දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සහ තීරණාත්මක ලෙස එම කාර්යයෙහි නිරත වියයුතු බවය. ව්‍යාපාරයක් කඩා නොවැටී ඉදිරියට ගෙන යන්නට නම් වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික පරිවර්තන සහ ගෝලීයකරණය පිළිබඳව වටහා ගෙන ඒ අනුව හැඩ ගැසීම අත්‍යවශ්‍ය වන බවද ඒ මහතා පවසා සිටියේය. එසේම මනා ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියාකිරීමට සහ අවශ්‍ය විට ආයතන ක්‍රියාවලියේ වෙනස්කම් කිරීමට නොපැකිලිව පියවර ගන්නා ලෙස මංජුල ප්‍රියදර්ශන මහතා ව්‍යාපාර නායකයන් දිරිමත් කරමින් පවසයි.
"සමහර අවස්ථාවලදී වෙනස් විය යුතු වන්නේ නායකයන්. එසේ යම් අවස්ථාවලදී ලෝකයේ දියුණු රටවල් තුළ සිදුකරන වෙනස්වීම් ශ්‍රී ලංකාවට දැනගැනීමට ලැබෙන්නේ මඳක් ප්‍රමාද වෙලා. එහෙත් දියුණු තාක්ෂණය හේතුවෙන් මේ කාල පරතරය නැති වී තිබෙනවා." යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
පුද්ගලයෙකුගේ සමස්ත සිතිවිලි දාමය හැසිරවීමේ හැකියාව මෙන්ම, වෘත්තිකයන්ට තමන්ට අදාළ රැකියාව සහ එහි දියුණුව සැලසුම් කිරීමේ හැකියාව CIMA සුදුසුකම මගින් ලැබෙන බව මංජුල මහතාගේ විශ්වාසයයි.
ඔහු ලබාගත් තාක්ෂණික දැනුමට අමතරව ව්‍යාපාරයක තිරසාර හා උපරිම ලාභ ලබාගැනීම සඳහා එය එක්කළ යුතු වටිනාකම නිර්මාණය කිරීමට, අවශ්‍ය දැනුම CIMA මගින් ලැබුණු බව ප්‍රකාශ කළ ඔහු, CIMA විෂයයන් බොහොමයක් මගින් යමෙකුට විවිධ වූ අවස්ථා යටතේ යම් තත්ත්වයක් තස්සේරු කරමින් තීරණ ගැනීමේ මග පෙන්වන බවද සඳහන් කරයි.
ඔහු යටතේ සේවය කරන පිරිසෙන් 50% පමණම CIMA උපාධිධාරීහු වන අතර, CIMA උපාධිධාරීන්ට ඔහු පවසන්නේ, අභියෝග හමුවේ නොසැලී එයට මුහුණ දෙන ලෙසයි.
CIMA උපාධිධාරීන්ට ඉතාමත් ආයාසකර දිගු ක්‍රියාවලියකට මුහුණදීමට සිදුවන බවත්, ඔවුන් එම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බවත්, කිසිසේත් එහි ආචාර ධර්ම පද්ධතියට පටහැනි යමක් නොකළ යුතු බවත් ඔහු පවසයි.
අවසානයේ යම් වෘත්තිකයෙකුට ගෞරවයක් හෝ අගයක් ලැබෙන්නේ ඔහු ආචාර ධර්මයන්ට ගරු කරන පුද්ගලයෙක් නම් පමණක් වන බවත් මංජුල මහතා පෙන්වා දෙයි.
මංජුල ප්‍රියදර්ශන මහතා පෙන්වාදෙන පරිදි, මිලියන 20ක පමණ ජනගහනයකින් යුතු කුඩා දිවයිනක් වන අප රට තුළ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ඇත්තේ සීමිත වෙළෙඳ පොළකි. එහිදී, හොඳ වෙළෙඳ පොළක් ඇත්තේ විදේශීයව බව ඔහු කියයි. ඒ අනුව, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් අතර දේශීය වෙළෙඳ පොළ තුළ තරගකාරීත්වයක් පවතී නම් ඔවුන්ට ගෝලීය වෙළෙඳ පොළ තුළ පවතින තරගකාරීත්වයට පහසුවෙන් මුහුණදීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ඔහු කියයි. දේශීය වෙළෙඳ පොළ තුළ තරගකාරීත්වය වැඩිවීමට නම් වැඩි වශයෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර බිහිවිය යුතු බවද හෙතෙම කියයි.
ඉහත කරුණු පිළිබඳව තවදුරටත් අදහස් පළ කරමින් මංජුල ප්‍රියදර්ශන මහතා පවසා සිටියේ, "මට හැඟෙන අයුරින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ඊළඟ අදියරට දියුණු නොවන්නේ ඔවුන් මුහුණ දෙන සුළු බාධක විශාල බාධක ලෙස සිතන නිසයි. තමන් දකින දෘෂ්ටිකෝණයෙන් හෝ මූලික දර්ශනයේ සුළු වෙනසක් කිරීමෙන් ව්‍යාපාරයක තිරසාර දියුණුවක් ඇති කිරීමට හැකි වෙනවා" යනුවෙනි.
තමා ලද අධ්‍යාපනයෙන් සහ රැකියාවෙන් ඉතා උසස් ප්‍රතිඵල ලබා ජීවිතය ජයගත් මංජුල ප්‍රියදර්ශන මහතා තමන් ලද දෙයින් පෙරළා යමක් සමාජයට දායාද කරන්නට උද්යෝගයෙන් බලා සිටියි. ඔහුගේ බලාපොරොත්තුව වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර අතර දේශීයව තරගකාරීත්වය ඇති කිරීම සඳහා උපදේශන සේවාවක් ඇති කිරීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

