නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ පරිදි අක්‍රීයව පවතින සී/ස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට එම මුදල් රජය විසින් ආපසු ලබාදීම ජූලි 24දා ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් විසින් දීර්ඝ කාලීනව මුහුණදෙන ගැටලුවලට විසඳුම් වශයෙන් ඔවුන්ගේ තැන්පත් මුදල් රජය මගින් ආපසු ගෙවීම පිළිබඳව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනලද ගෙවීම් ලේඛනයට පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, රුපියල් විසි ලක්ෂයක් දක්වා වූ තැන්පත්කරුවන් වෙත එම මුදල් ජූලි 24දා සිට මසක් ඇතුළත ගෙවන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම මුල් කොටස ගෙවීම සඳහා අවශ්‍ය වන රු.මිලියන 544.3ක මුදල මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලබන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවතින බැවින් අධිකරණයේ අනුමැතිය ඇතිව ගෝල්ඩන් කී සමාගමට අයත් වත්කම් බැහැර කිරීමෙන් මුදල් ආපසු අයකර ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දෙයි.
මීට අමතරව රු.මිලියන දහයකට අඩු තැන්පතුකරුවන් වෙත ඔවුන්ගේ මුදල් ඉදිරි මාස දෙකක් ඇතුළත ගෙවීමටත්, රු.මිලියන දහයට වැඩි තැන්පත්කරුවන්ට ඉදිරි වසරක් ඇතුළත ගෙවීම් කිරීමටත් රජය තිරණය කර ඇත. මේ සඳහා රු.මිලියන 7,000 කට අධික මුදලක් අවශ්‍ය වන බව පැවසූ මුදල් අමාත්‍යවරයා මෙම මුදල් ගෝල්ඩන් කී සතු වත්කම් බැහැර කිරීමෙන් හා එම වත්කම්වලින් මහ බැංකුවට දැනට ලැබෙන ලාභාංශ මගින් ලබාගැනීමට තීරණය කර ඇති බවත් පෙන්වා දෙයි.