කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන සහ රඹුක්කන - ගලගෙදර මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන 19 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
පොතුහැර - රඹුක්කන කොටස දිගින් කිලෝ මීටර් 17.5ක් වන අතර රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස දිගින් කිලෝ මීටර් 18කින් යුක්ත වේ.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (10දා) පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පවසා සිටියේය.
එමෙන්ම, කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය කොටස් වශයෙන් ඉදිකිරීමට තීරණය කොට ඇත්තේ ගතවන කාලය සීමාකරගැනීම සඳහා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා වසර 6ක පමණ කාලයක් ගත වූ බවත්, එබැවින් මහනුවර අධිවේගී මාර්ගය කොටස් වශයෙන් කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් වෙත ලබාදීම හරහා ඉතා ඉක්මනින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි බැවින් මෙවැනි තීරණයක් ගැනීමට රජය කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.
මෙරට ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් ජාත්‍යන්තර මට්ටමේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින බැවින්, ඔවුන්ට අවස්ථාව ලබාදීමේ අරමුණි මෙලෙස දේශීය සමාගම් වෙත මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබාදීම සිදු කෙරෙන බවත්, ඒ අනුව සම්පූර්ණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමාගම් 8ක් වෙත පැවරීමට නියමිත බවත් කියවුණි.