කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑමෙන් වාසි ලබාගැනීමට නම්
වර්තමානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. මේ වනවිට 2014 වසරට කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑම 21% ක් පමණ වේ. ඒ සියලු සමාගම් සඳහා ගණනය කරන සමස්ත මිල දර්ශකයේ ඉහළ යෑමයි. එමෙන්ම, තෝරාගත් සමාගම් 20ක් සඳහා ගණනය කරන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද 22% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. කොටස් වෙළෙඳ පොළ තුළ 2014 වසරට වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 10ක් පමණ වේ. එනම්, විදේශීය ආයෝජකයන් කොටස් විකුණුවාට වඩා කොටස් මිලදී ගෙන ඇත. කොටස් වෙළෙඳ පොළේ මුළු පිරිවැටුපෙන් 68% කට පමණ දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ය. මේ කරුණු සියල්ලම ඉතා සුබදායී කරුණු වේ. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළේ ඉහළ ප්‍රගතියක් වාර්තා වී ඇත. එමෙන්ම, ආයෝජකයන්ගේ හැසිරීමේද ධනාත්මක ස්වරූපයක් පෙන්නුම් කරයි.
එක දිගට ඉහළ යන කිසිදු කොටස් වෙළෙඳ පොළක් නොවීම
එසේ ඉහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළ තවදුරටත් මේ ආකාරයෙන් පවත්වා ගත යුතු වන්නේ, මෙම ඉහළ නැගීම තවදුරටත් පවත්වා ගතහොත් එය සියලු දෙනාගේම යහපතට හේතු වන නිසාය. කිසිදු කොටස් වෙළෙඳ පොළක් එක දිගටම නොකඩවා ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. කොළඹ කොටස් වෙළෙඳ පොළේ ස්වභාවයද එයයි. කොළඹ කොටස් වෙළෙඳ පොළ නොකඩවා දිනපතා ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. එහි උච්චාවචන ඇතිවිය හැකිය. නමුත්, සියලුම පාර්ශ්ව සිදුකළ යුතු වන්නේ වර්තමානයේ පවතින ඉහළ නැගීම රඳවා තබාගැනීමට උත්සාහ කිරීමය.
මුදල් යොදවන ආයෝජක ඔබේ ප්‍රධානතම කාර්යභාරය නම්
මෙසේ ඉහළ යෑම පවත්වා ගැනීමට නම් කොටස් වෙළෙඳ පොළ සම්බන්ධ සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතුය. එහිදී, ප්‍රධානතම කාර්යය භාරයක් සිදුකළ යුතු වන්නේ කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන ආයෝජකය ඔබය. මෙම ඉහළ යෑම තවදුරටත් පවත්වා ගැනීමට නම්, ආයෝජකයන් ඉතා දැනුම්වත්ව ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන්ම වසර 2010 හා 2011 යන කාලවල ආයෝජකයන්ගේ හැසිරීම පාඩමක් කරගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ නම් එය සියලු දෙනාගේම යහපතට හේතුවනු ඇත. කොටස් වෙළෙඳ පොළේ මේ ඉහළ නැගීම රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් සිදුකරයි. රට තුළට විදේශීය මුදල් ගලාඒමටද විශල දායකත්වක් සපයයි. මෙය තවදුරටත් රඳවා ගැනීමට නම් ආයෝජකයන් සිතා බලා ආයෝජනය කළ යුතුය. නැණවත්ව ආයෝජනය කළ යුතුය. ඉහළ යමින් පවතින ඕනෑම කොටස් වෙළෙඳ පොළක සමහර අවස්ථාවලදී ගැටලු මතුවිය හැකිය.
කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑමට බ්ලූචිප් සමාගම් දායකත්වයක්
මේ වසරේදී කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑමට විශාල වශයෙන් දායක වී අත්තේ බ්ලූචිප් හෙවත් ඉතා ඉහළ ගණයේ සමාගම්වල කොටස් ගනුදෙනුය. බ්ලූචිප් සමාගම් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 22% ක් පමණ වසරකට ඉහළ යමින් පෙන්වන්නේ කොටස් වෙළෙඳ පොළේ එම ඉහළ යෑමට බ්ලූචිප් සමාගම් විශාල වශයෙන් දායක වී ඇති බවය. එය ඉතා හොඳ ලක්ෂණයකි. බ්ලූචිප් හරහා කොටස් වෙළෙඳ පොළ ඉහළ නගින විට එයට සමාන්තරව අනෙකුත් සමාගම්වල මිල ගණන්ද ඉහළ නගිනු දක්නට ලැබේ. ලොව ඕනෑම කොටස් වෙළෙඳ පොළක බ්ලූචිප් සමාගම් මෙන්ම, සාමාන්‍යද සමාගම්ද, එතරම් ස්ථාවරත්වයක් නැති සමාගම්ද තිබේ. සමාගමක් දිගින් දිගටම අලාභ ලබයි නම්, එම සමාගම ස්ථාවර නැත. නමුත්, බ්ලූචිප් සමාගම් හරහා කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑමේදී එම සමාගම්වලටද යම්කිසි ආකාරයකට තල්ලුවක් ලැබේ.
බ්ලූචිප් නොවන නමුත් හොඳ සමාගම් බොහෝමයක් පැවතීම
මෙහිදී ආයෝජකයන් ඉතා කල්පනාකාරී විය යුතුය. අප මෙහිදී අදහස් කරන්නේ ආයෝජකයන් බ්ලූචිප් සමාගම්වල පමණක් කොටස් මිලදී ගත යුතු යැයි යන්න නොවේ. බ්ලූචිප් නොවන, එහෙත් හොඳ සමාගම් බොහෝමයක් ඇත. එසේම කිසිම සාධාරණ හේතුවකින් තොරව මිල ගණන් ඉහළ නගින සමාගම්ද ඇත. මෙහිදී ආයෝජකයන් තේරුම්ගත යුතු වන්නේ එවැනි සමාගම්වල ආයෝජනය කිරීම බ්ලූචිප් සමාගම්වල ආයෝජනය කිරීමට වඩා අවදානම් බවය. උදාහරණයක් වශයෙන් සමාගමක් වසර කිහිපයක්ම නොකඩවා පාඩු ලබා තිබෙන නමුත්, එම සමාගමේ කොටස් මිල ඉහළ යමින් පවතින්නේ නම් එවැනි සමාගම්වල කොටස් මිලදී ගැනීමේදී ආයෝජකයන් පරිස්සම් විය යුතුය. එසේ කොටස් මිල ඉහළ යෑම පිළිබඳව ආයෝජකයන් සොයා බැලිය යුතු වේ. එසේම, අලුතින් ලැයිස්තුගත වූ සමාගමක කොටස් මිල කිසිම හේතුවකින් තොරව නොකඩවා ඉහළ යයි නම්, කොටස් මිලදී ගැනීමට පෙර ආයෝජකයන් ඒ පිළිබඳව සොයා බැලිය යුතු වේ. ඒ සඳහා තම කොටස් තැරැව්කාර ආයතනයේ උපදෙස් ලබාගත හැකිය. මෙසේ කිසිම හේතුවකින් තොරව නොකඩවා මිල ඉහළ යන සමාගම්වල ආයෝජනය කිරීමේදී ආයෝජකයන් බුද්ධිමත්ව කටයුතු කිරීම අනිවාර්යය වේ. තම කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබාදෙන උපදෙස්වලට අමතරව, ආයෝජකයාද ස්වයං අධ්‍යයනයක් කරන්නේ නම් එය ආයෝජකයාගේ ඉදිරි ගමනට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.
දරාගත හැකි මට්ටමට, අනවශ්‍ය ණයෙන් තොරව ආයෝජනය කිරීම
එසේම ආයෝජකයන් තමන්ට දැරිය හැකි ප්‍රමාණයෙන් කොටස් මිලදී ගත යුතු වේ. අප මේ පිළිබඳව පසුගිය ලිපි කිහිපයකදීම අදහස් පළ කර ඇත. තමන්ට දරාගත නොහැකි ආකාරයකට කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම කිසිම පුද්ගලයෙකුට සුදුසු නොවේ. එමෙන්ම අනවශ්‍ය ලෙස ණය වී එම මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමද ආයෝජකයන්ට සුදුසු නොවේ. ණය මත හෙවත්, ආන්තික ණය මත කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් සිටියි. ආන්තික ණය ලබාගැනීමේ වරදක් නැත. නමුත්, එය සිදුකළ යුතු වන්නේ ක්රමානුකූල ආකාරයකටය. ආන්තික ණය ලබාදෙන ආයතනය හෝ කොටස් තැරැව්කාර ආයතනය තමන්ට ණයක් ලබාදුන් පමණින් එම මුදල් සියල්ල ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සුදුසු නොවේ. ඉහළ නගිමින් පවතින කොටස් වෙළෙඳ පොළකදී ණය ලබාගෙන කොටස් මිලදී ගැනීම යම්කිසි ආකාරයකට ප්‍රයෝජනවත් විය හැකිය. නමුත්, යම්කිසි ආකාරයකට කොටස් මිල පහළ වැටුණහොත් අනවශ්‍ය ලෙස ණය ලබාගෙන තිබේ නම්, එහිදී, එම ආයෝජකයාට ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය වන්නේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කර තිබෙන, යම්කිසි ආකාරයකට පරිනත වී සිටින ආයෝජකයන්ටය. ඔබ නවක ආයෝජකයෙකු නම්, එසේත් නැත්නම් කොටස් වෙළෙඳ පොළ පිළිබඳව එතරම් දැනුමක් නොමැති ආයෝජකයෙකු නම් තම කොටස් වෙළෙඳ පොළෙ ගනුදෙනු ආරම්භයේදීම ණය ලබාගැනීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවේ. කොටස් වෙළෙඳ පොළේ මෙම ඉහළ යෑම පවත්වා ගැනීමට නම් ආයෝජකය්න මෙසේ ණය ලබාගෙන ගනුදෙනු කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
එසේම, තම ආයෝජකයන්ට කොටස් ගනුදෙනු කිරීම සඳහා ණය ලබාදීමේදී කොටස් තැරැව්කාර ආයතනද යම්කිසි ආකාරයකට වගකීමෙන් යුක්තව කටයුතු කළ යුතු වේ. තම ගනුදෙනුකරුවාගේ පසුබිම සොයා බලා එවැනි ණයක් ලබාදීම මගින් ආයෝජකයා කොතරම් දුරට කොටස් වෙළෙඳ පොළෙන් ප්රතිලාභ ලබාගනීදැයි සොයා බැලීම කොටස් තැරැව්කාර ආයතනයේ වගකීමයි. වසර 2010 - 2011 කාලවලදී සමහර කොටස් තැරැව්කාර ආයතන යම්කිසි ආකාරයකට ක්‍රමවත්ව ණය ලබාදීමක් දකන්ට නොලැබුණි. නමුත්, වර්තමානයේදී බොහෝ කොටස් තැරැව්කාර ආයතන තම ආයෝජකයන්ට ණය ලබාදීමේදී ඉතාමත්ම සැලකිලිමත් වනු දක්නට ලැබේ. එය ඉතා හොඳ ප්රවණතාවකි.
කොටස් වෙළෙඳ පොළ පිළිබඳ හැදෑරීමක් කිරීම එතරම් අපහසු නොවීම
කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑමත් සමග විශාල වශයෙන් ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වෙමින් සිටී. මෙහිදී නවක ආයෝජකයෙකු කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වන්නේ නම්, අප බොහෝ විට සඳහන් කර ඇති ආකාරයට හැදෑරීමක් කර කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම ඉතාමත් යෝග්‍ය වෙයි. කොටස් වෙළෙඳ පොළ පිළිබඳ හැදෑරීමක් කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.
ආයෝජකයා හා ගනුදෙනුකරුවා යන භූමිකා තේරුම් ගැනීම
එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදන පුද්ගලයන් දෙයාකාරයකට හැඳින්විය හැකිය. එනම් ගනුදෙනුකරුවන් හා ආයෝජකයන් වශයෙනි. ආයෝජකයෙකු යනු, දිගුකාලීන අරමුණු මත පිහිටා කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන පුද්ගලයෙකි. මෙසේ පැමිණෙන පුද්ගලයන් කොටස් මිලදී ගනු ලබන්නේ ඒ ආයෝජනයක් වශයෙන් සලකාය. ආයෝජකයන් බොහෝ විට තමන් යොදන මුදල අවම වශයෙන් වසර 2ක්වත් කොටස් වෙළෙඳ පොළේ රඳවා තබාගැනීමට බලාපොරොත්තු වෙයි. ඔවුන් කොටස් මිලදී ගන්නේ සමීක්ෂණ වාර්තා මත පදනම්ව, එමෙන්ම, තමාත් හැදෑරීමක් කර සහ සිද්ධාන්ත මත පිහිටාය. මෙවැනි ආයෝජකයන්ට ඇති අවදානම යම්තාක් දුරකට අවමය. මක්නිසාදයත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ දිගුකාලීනව ඉහළ ප්‍රතිලාභයක් ලබාදී ඇති බැවිනි.
කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුකරුවන්ද සිටී. ගනුදෙනුකරුවන් යනු කෙටි කාලීන අරමුණු මත පිහිටා කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුකරන පුද්ගලයන්ය. ඔවුන් කොටස් මිලදී ගනුලබන්නේ සමපේක්ෂණ චේතනාවෙන්ය. බොහෝ විට ඔවුන්, පැය කිහිපයක් තුළ හෝ දින කිහිපයක් තුළ එසේත් නැත්නම් සතියකින් දෙකකින් කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුකරනු ලබයි. කොටස් වෙළෙඳ පොළේ Day Traders යනුවෙනු හැඳින්වෙන ආයෝජකයන් සිටී. ඔවුන් සිදුකරනු ලබන්නේ දිනයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමකි. මෙවැනි ආයෝකයන් බොහෝ විට කෙටි කාලීන අරමුණු මත ගනුදෙනු කරන අතර, සිද්ධාන්ත මත පිහිටා ගනුදෙනු නොකරයි.
සැලකිය යුතු ප්‍රතිශතයක් ආයෝජනයට යෙදවීම යෝග්‍ය ක්‍රමයක්
කොටස් වෙළෙඳ පොළකට ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද අවශ්‍ය වේ. කොටස් වෙළෙඳ පොළට අවශ්‍ය ද්‍රවශීලතාව ලබාදෙන්නේ ගනුදෙනුකරුවන්ය. නමුත්, ගනුදෙනු කිරීමේදී ආයෝජනයට වඩා අවදානම වැඩි බව සියලු දෙනාම තේරුම්ගත යුතුය. කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වන පුද්ගලයන් මෙම කරුණු තේරුම් ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යය. තමන් යොදන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ආයෝජනය සඳහාද, තමන්ට දැරිය හැකි ප්‍රතිශතයක් ගනුදෙනු සඳහාද යොදවන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් තම මුළු මුදලින් අවශ්‍ය නම් 70% ක ප්‍රමාණයක් ආයෝජනය සඳහාද 30% ක ප්‍රමාණයක් ගනුදෙනු සඳහාද යෙදවිය හැකිය. නමුත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.
නිවැරදි වූ තොරතුරු මත කොටස් මිලදී ගැනීමේ හා විකිණීමේ වැදගත්කම
කොටස් වෙළෙඳ පොළේදී ආයෝජකයන් මතක තබාගත යුතු තවත් ප්‍රධාන කාරණයක් නම්, නිවැරදි වූ තොරතුරු මත කොටස් මිලදී ගැනීමට හා විකිණීමට උත්සාහ කිරීමය. කොටස් වෙළෙඳ පොළක් ඉහළ යෑමේදී ආයෝජකයන්ගේ උනන්දුව වැඩිවීමත් සමගම විවිධ කටකතා ද නිර්මාණය වෙයි. ආයෝජකයන් මෙම කටකතා මත ගනුදෙනු සිදු නොකර, සත්‍ය තොරතුරු මත ගනුදෙනු කරන්නේ නම් එය ඉතා වැදගත් වෙයි. සමාගම් මගින් ලබාදෙන සියලු නිල තොරතුරු කොළඹ කොටස් වෙළෙඳ පොළේ වෙබ් අඩවියෙන් හෝ තම කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාගත හැකිය. තම යහළුවෙකු කියූ පමණින් හෝ ස්ථීර නොවූ තොරතුරක් දුටු පමණින් කොටස් මිලදී ගැනීමට උත්සාහ කිරීම යෝග්‍ය නොවේ.
එසේම ආයෝජකයන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කරන විශේෂ නිවේදන පිළිබඳවද අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් වෙළෙඳ පොළේ නියාමකයා ලෙස සමහර අවස්ථාවලදී යම් සමාගම්වලට යම් නියාමනයන් පනවන අතර, ඒ පිළිබඳව අවදියෙන් සිටියහොත් ආයෝජකයන්ට එය ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් සමාගමක ගිණුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිෂන් සභාව එම සමාගමට විරුද්ධව නීතිමය කටයුතු ආරම්භ කර තිබේ නම්, ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීමේදී ඉතා පරිස්සම් විය යුතුයි. මෙවැනි දෑ පසුගිය කාලසීමාවේදී සිදුවූ අතර, සමහර අවස්ථාවලදී ආයෝජකයන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර කොටස් මිලදී ගෙන යම්කිසි ආකාරයකට අපහසුතාවන්ට මුහුණ පෑ ආකාරය අපට මතක ඇත.
සමීක්ෂණ වාර්තා පරිහරණය කිරීම ආයෝජකයන්ට ප්‍රයෝජනවත් වීම
එමෙන්ම, කොටස් තැරැව්කාර ආයතනය සඳහා අනෙකුත් ආයතන මගින් ලබාදෙන සමීක්ෂණ වාර්තා පරිහරණය කිරීම ආයෝජකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. මෙම පරීක්ෂණ වාර්තා තම ආයෝජන කටයුතු සඳහා යොදාගන්නේ නම් ආයෝජකයන්ට එය නිසි මගපෙන්වීමක් සිදුකරනු ඇත. එමෙන්ම, තමන් සිදුකරන සියලු කොටස් මිලදී ගැනීම් හා විකිණීම්වලදී තම කොටස් තරැව්කාර ආයතනය මගින් ලබාදෙන ගැනුම් කුවිතාන්සි හා විකුණුම් කුවිතාන්සි පිළිබඳව ආයෝජකයන් තම අවධානය යොමු කළ යුතුය. යම් ආකාරයකින් තමන් උපදෙස් ලබානොදුන් කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදුකර තිබේ නම්, එම අවස්ථාවේදීම ඒ පිළිබඳව තම කොටස් තැරැව්කාර ආයතනයට ලිඛිතව දැනුම්දී එය විසඳා ගත යුතුය. එමෙන්ම, මාසයක් අවසානයේදී තමන්ට ලැබෙන CDS ගිණුම් වාර්තා පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ පවතින මේ ඉහළ යෑමත් සමගම ආයෝජක අවධානය කොටස් වෙළෙඳ පොළට යොමු වී ඇත. එසේම නවක ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වෙමින් සිටී. ආයෝජකයන්ට අප මෙහි සඳහන් කළ කාරණා පිළිබඳව අවධානය යොමු කළ හැකි නම්, එය ඔවුන්ගේ යහපතට මෙන්ම, කොටස් වෙළෙඳ පොළේ යහපතටද හේතුවනු නොඅනුමානය.
තොරතුරු - ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

