පහත සඳහන් වනුයේ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනයේදී ඕනෑම ආයෝජකයෙකු සැලිකිල්ලක් දැක්විය යුතු මූලික සාධකයන් කිහිපයකි.
-
· ඔබ ආයෝජනය ආරම්භ කිරීමට පෙර කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙහි මූලික කරුණු පිළිබඳව නිසි අවබෝධයක් ඔබට තිබිය යුතුය. එමගින් ඔබගේ ප්රතිලාභ ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
-
· කොටස් මිලදී ගැනීම යනු ආයෝජනයකි. එය ඉතිරි කිරීමක් නොවේ. ඕනෑම ආයෝජනයක ලාභ සහ අලාභයන් අන්තර්ගත විය හැකිය. එමෙන්ම අවදානම අවම විය හැකි මෙන්ම ප්‍රතිලාභද අඩුවිය හැකිය. එහි ප්‍රතිවිරුද්ධ ප්රතිඵලයන් වන ඉහළ ප්රතිලාභ සහ ඉහළ අවදානමක්ද අන්තර්ගත විය හැකිය. ඒ අනුව, ඔබ උත්සාහ කළ යුත්තේ අවදානම අවම කරගනිමින් ප්රතිලාභ උපරිම කරගැනීමටය. ඒ සඳහා කළ හැකි සහ අනුගමනය කළ යුතු දේ බොහෝය.
-
· කොටස් වෙළෙඳ පොළ ආයෝජනය දිගුකාලීන එකකි. එසේම කොටස් මිලදී ගැනීම යනු ඔබ සමාගමක හිමිකරුවෙක් බවට පත්වීමකි. මෙහිදී ඔබ තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ සමාගමක් ලාභ ලබන තත්ත්වයට පත්වීමට කාලයක් ගතවිය හැකි බවයි. වසර පුරා සමාගමක හැසිරීම අනුව එහි කාර්යසාධනය යහපත් මට්ටමක ඇත්නම් ආයෝජකයන්ට විවිධ ප්රතිලාභ අත්කර ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන්ම ලාභාංශවලට අමතරව නොමිලේ කොටස් හා අඩු මිලකට කොටස් ලැබීමටද හැකියාවක් ඇත.
-
· ඊට අමතරව කාලයත් සමග සමාගමේ වටිනාකම ඉහළ යාමත් සමග කොටසක මිලද ඉහළ යා හැකිය. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් කවුරුත් බලාපොරොත්තු වන ප්‍රාග්ධන ලාභ ලැබීමට ඉඩකඩ ඇත. මේ නිසා මෙම පූර්ණ ප්රතිලාභ අත්කර ගැනීමට යම් කාලය කැප කිරීමක් කළ යුතු අතර, හදිසි මුදල් යොදවා කොටස්වල ආයෝජනය සුදුසු නොවේ.
-
· ඔබ මූලික කොටස් නිකුතුවකින් (IPO) කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් කොටස් මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන්ම සංස්ථා ප්‍රකාශය (Prospectus) ඉතා පරිස්සමින් කියවිය යුතුය. ඒ සඳහා ඔබට ප්‍රමාණවත් තරම් අවබෝධයක් නොමැති නම් ඔබ තෝරාගෙන ඇති කොටස් තැරැව්කාර සමාගමේ ආයෝජන උපදේශකවරයාගේ සහයෝගය ලබාගත හැකිය. ඔහුගේ උපදෙස් අනුව ඔබට නිසි ආයෝජන තීරණ ගැනීමට මගපෙන්වීමක් සිදුකරනු ඇත.
-
ඔබ මෙහිදී මතක තබාගත යුතු විශේෂ කරුණක් වනුයේ සංස්ථා ප්‍රකාශයෙහි අන්තර්ගත කර ඇති කරුණු හා ඔබ එකඟ වන්නේ නම් පමණක් හා ඔබ එම කරුණු පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීම වඩා යෝග්‍ය බවයි. මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීම ප්‍රාථමික කොටස් වෙළෙඳ පොළ යනුවෙන්ද හඳුන්වනු ලබයි.
-
· කොටස් වෙළෙඳ පොළහි ආයෝජනය කිරීමට ඔබ අනිවාර්යයෙන්ම කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගත යුතු අතර, එම ආයතනයකින් කොටස් ගිණුමක් විවෘත කළ යුතුය. මෙම ගිණුම වසය අවුරුදු 18 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකුට නොමිලයේ ආරම්භ කරගත හැකිය. එසේම මෙම ගිණුම හැඳින්වීමට විවිධ නම් ආයෝජකයන් භාවිත කරන අතර CDS ගිණුමක්, සුරැකුම්පත් ගිණුමක්, මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුමක් යනාදි නම් ඉන් කිහිපයකි. මෙම ගිණුමක් නොමැතිව කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කළ නොහැක.
-
· ඔබ ප්රමවරට ගනුදෙනු ආරම්භ කරන්නෙක් නම් කොටස් තැරැව්කාර ආයතන වෙත යාම වඩා වැදගත්ය. එසේම ඔබ ජීවත් වන ප්‍රදේශයට ආසන්නව තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබන කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න. එසේ යනවිට ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් රැගෙන යන්නේ නම් ඔබට එම අවස්ථාවේදීම කොටස් ගිනුමක් ආරම්භ කරගත හැකිය. ඔබගේ ජාතික හැඳුනුම්පතේ ලිපිනය වෙනස් නම් පමණක් ස්ථිර ලිපිනය තහවුරු කරන විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් ආදී ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතුවේ.
මේ ආකාරයෙන් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනයේදී ඕනෑම ආයෝජකයෙකු සැලිකිල්ලක් දැක්විය යුතු තවත් මූලික සාධක රැසක් පවතින අතර, එකී විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...