සමාගමක් ලැයිස්තුගත වීම තුළින් ලබාගත හැකි ප්රතිලාභ පිළිබඳව ව්‍යවසායකයින් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුණි. කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගතවීම තුළින් ප්රාග්ධනය රැස්කර ගැනීමේ ඇති ඉඩකට පිළිබඳව මධ්‍යම හා වයඹ පළාත් ව්‍යාපාරික ප්‍රජාව ඉහළ උනන්දුවකින් පසුවන බව මෙහිදී විද්‍යාමාන විය.
සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් පැවති එම වැඩමුළුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකාබද්ධව සංවිධානය කළ අතර 50 කට අධික ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේදී පසුගිය අප්‍රේල් 5 වැනිදා පැවැත්විණි. මෙය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව සංවිධානය කළ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් වූ දෙවැනි වැඩමුළුවයි. එහි පළමුවැන්න පසුගියදා යාපනයේදී පැවැත්විණි.
කොටස් හා ණයකර නිකුත් කිරීම හරහා ලැයිස්තුගත වීම තුළින් ලැබිය හැකි ප්රතිලාභ පිළිබඳව නිවැරදිව පහදා දෙමින් වැඩමුළුව ආරම්භ කෙරුණු අතර කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසින් පළමු දේශනය පවත්වන ලදී. බැංකු තුළින් මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවට ණයකර නිකුත් කිරීම තුළින් ණය ප්රාග්ධනය සපයා ගැනීම සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ දේශනය වෙල්ත් ලංකා මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ සභාපති මංගල බෝයගොඩ මහතා විසින් සිදු කරන ලදී.
මෙම ප්‍රධාන දේශන වලට පසුව විද්වත් මඩුළු සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ලැයිස්තුගත කිරීම් සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති අනියත බිය හා මිත්‍යා මත පිළිබඳවත් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියත් ගැඹුරින් සාකච්ඡාවට ගන්නා ලදී. මෙම විද්වත් මඩුල්ලට ඇතුළත් වූ සාමාජිකයින් අතර සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී හේෂාන් මතුගමගේ මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාංගමික කටයුතු අංශයේ අධ්යක්ෂ හර්ෂණ සූරියප්පෙරුම මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ අංශයේ ප්‍රධානී ප්රියනා ගුණසේකර මහත්මිය, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී එල් සී සමාගමේ මූල්‍ය අධ්යක්ෂ ජී. එස්. එන්. පීරිස් මහතා සහ වෙල්ත් ලංකා මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ සභාපති මංගල බෝයගොඩ මහතාද විය. සහභාගී වූ ව්‍යාපාරික ප්‍රජාව වෙතින් සාකච්ඡාව අතරතුර මූලික ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වූ අතර එය සාකච්ඡාවේ සජීවී බව තවදුරටත් වැඩි කරමින් වඩා හරබර එකක් බවට පත් විය.