කෘෂිකර්මාන්තයට අදාළ සියලුම ඒකක පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැස් කෙරෙන ආර්ථික සංගණනයේ තුන් වැනි අදියර මෙම ජූනි - ජූලි මාස තුළ සිදුකෙරෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.
ශ්‍රී ලංකාවේ ද ආර්ථික ක්ෂේත්රයේ ඇති වී ඇති ව්‍යුහාත්මක වෙනස්කම් සැලකිල්ලට ගෙන කෘෂිකර්ම, කර්මාන්ත ලෙස සංගණන දෙකක් වෙන් වෙන් වශයෙන් නොපවත්වා එම සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි 2013/14 වර්ෂවලදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු යෙදීය.
ඒ අනුව, ආර්ථික සංගණනය අදියර 04කින් පැවැත්වෙන අතර, පළමුව ශ්‍රී ලංකාවේ සියලුම වතු (අක්කර 20ට වැඩි ගොවි කාණ්ඩ) 2013 වසරේ ජූලි- අගෝස්තු මාසවලදීත් දෙවැනි අදියර යටතේ සියලුම කර්මාන්ත, වෙළෙඳ හා සේවා ඒකක 2013 වසරේ ඔක්තෝම්බර් මාසවලදීත් ලැයිස්තු ගත කරන ලදී.
මේ වනවිට ක්‍රියාත්මක වන්නේ එහි තුන්වැනි අදියර වන කෘෂිකර්මාන්තයට අදාළ සියලුම ඒකක පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැස් කිරීමය. එමෙන්ම, එළැඹෙන ඔක්තෝම්බර් - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ කර්මාන්ත, වෙළෙඳ හා සේවා අංශවලින් සංගණනයේ හතර වැනි අදියර යටතේ විස්තරාත්මක තොරතුරු රැස් කරනු ලබන බවද කියවුණි.
මෙම සංගණනය සාර්ථක කරගැනීම වෙනුවෙන් කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ ජනතාවගේ හා ආයතනවල සහාය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.