පෙරහරක ප්‍රමුඛත්වය කරඬුව වඩම්මන හස්ති රාජයාට හිමිවිය යුතු වුවත්, අද පන්දම් කාරයෝ, අලි පැටවු, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ පෙරහරේ ප්‍රමුඛත්වය අරගෙන බව එ.ජා.ප. උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
පසුගියදා තොටළඟ එ.ජා.ප. කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
"පෙරහර ගත්තාම එහි ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මවන හස්ති රාජයාටයි. ඒ හස්තියා ගමන් ගන්නේ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතිනුයි. නමුත්, අද වෙලා තියෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවු, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ප්‍රමුඛත්වය අරගෙන තියෙන්නෙ. රටේ වත්මන් තත්ත්වයත් මේ වගේම තමයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. මේ තත්ත්වය අපේ නායකයන් දෙපළ අවබෝධ කරගෙන ඇති බව මා විශ්වාස කරනවා" යැයි පවසා සිටියේය.