Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 24 වන බදාදා
2024 අප්‍රේල් මස 24 වන බදාදා
ඔබ මුදල් යොදවන්නේ කොටස් වෙළෙඳ පොළේමද?
ඕනෑම ආයෝජකයෙකු තම මුදල් වඩා ඉහළ ප්රතිලාභ ලැබෙන ආයෝජනයකට යොමුකර තමාට සතුටු විය හැකි ප්‍රතිලාභයක් ලබාගැනීමට කැමැත්තක් දක්වයි. එය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ආයෝජනයකට මුදල් යෙදවීමට පෙර සිතා බැලිය යුතු ඇතැම් කරුණු ආයෝජකයන්ට අමතක වන ස්වභාවයක් තවමත් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, ආයෝජනයකදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මීට පෙරද ලිපි කිහිපයකින්ම අපි උත්සාහ කළෙමු. එහෙත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තාවක පළවූ, මවක් සහ දියණියක් එකතුවී සිදුකළ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධ ප්‍රවෘත්තියක් හේතුවෙන් නැවතත් එවැනි ලිපියකින් ඔබව දැනුවත් කිරීම සුදුසු යැයි අපි කල්පනා කළෙමු. ඒ අනුව, ඔබ මුදල් යොදවන්නේ කොටස් වෙළෙඳ පොළේමද යන්න දෙවරක් නොව, තෙවරක් වුවද සොයාබලා මුදල් යෙදවීම ඔබගේ මුදල්වල ආරක්ෂාව පැත්තෙන් ඉතා වටිනා දෙයක් බව මෙහිදී සඳහන් කිරීමට කැමතිය.
මහන්සියෙන් උපයා ඉතිරිකරගත් මුදලට වැඩි වටිනාකමක්
දහඩිය වගුරා, වටිනා කාලය කැප කරමින්, අනෙකුත් අවශ්‍යතා පසෙකලා උපයාගත් මුදලට වැඩි වටිනාකමක් දීමට ආයෝජකයන්ට ඇති එක් ක්‍රමයක් වන්නේ කිසියම් ආයෝජනයකට එම මුදල් යෙදවීමය. ඒ ආයෝජන ක්‍රම අතර කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සුවිශේෂී වෙයි. ඊට හේතුව එමගින් ආයෝජකයාට නිදහසේ ආයෝජනය කිරීමට අවස්ථාව උදාවීමත්, කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම්වල කොටස්කරුවන් බවට පත්වීමටත් ඉඩකඩ සැලසෙන බැවිනි. ඉහළ ලාභ ලබන, ඉහළ කාර්යක්ෂමතාවකින් හෙබී සමාගම්වල මුදල් ආයෝජනය කිරීමට කොටස් වෙළෙඳ පොළක ආයෝජනය කරන ආයෝජකයන්ට අවස්ථාව හිමිවේ. සමාගම් හොඳින් ක්‍රියාත්මකවීමේදී තම අතේ ඇති කොටස්වල වටිනාකමද ඉහළ යයි. ඒ අනුව, අනාගතයේදී ඉහළ ප්රතිලාභ ලැබීමටද අවස්ථාව උදාවෙයි. ඒ කොටස් වෙළෙඳ පොළක් හරහා ඔබගේ මුදල්වලට වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයයි.
ඒ වටිනාකම ලබා ගැනීමට ඇති ක්‍රමවේදය ගැන ඔබ හරියටම දැනුවත්ද?
කොටස් වෙළෙඳ පොළේ මුදල් යෙදවීමට කිසියම් ආයෝජකයෙකු ඒ සඳහා අවසරලත් කොටස් තැරැව්කාර සමාගමක් වෙත යා යුතුය. ඉන් අනතුරුව කොටස් වෙළෙඳ පොළේ තමන් නමින් CDS ගිණුමක් ආරම්භ කළ යුතුය. එය නොමිලේ ආරම්භ කරන ගිණුමකි. එහි සිදුකරන ගනුදෙනු පිළිබඳව ඔබට මාස්පතා ගිණුම් විස්තරයක්ද ලැබෙනු ඇත. එමගින් ඔබට හරියටම කොටස් වෙළෙඳ පොළෙහි තමන්ගේ මුදල් යෙදවී ඇති බවට තහවුරු කර ගත හැකිය. එමපණක් නොව, ඔබ සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම ඔබගේ කොටස් තැරැව්කාර ආයතනයෙන් ගනුදෙනුව සිදුකර ඉතා කෙටි කාලයක් තුළ (දිනක් හෝ දෙකක් වැනි) ගනුදෙනුව පිළිබඳ විස්තර පත්‍රිකාවක් ලැබීමට සලස්වයි. එය ගැනුම් හෝ විකුණුම් සටහන වශයෙන්ද හඳුන්වනු ලබයි. මිලදී ගැනීමක් වෙනුවෙන් ගැනුම් සටහනක් හා විකිණීමක් වෙනුවෙන් විකුණුම් සටහනක් ලබාදෙයි. මෙවැනි ලේඛන මගින් හරියටම ඔබගේ මුදල් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය වී ඇති බව තහවුරු කරගත හැකිය.
කිසියම් කෙනෙකුට මුදල් ලබාදුන් පමණින් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කළා යැයි නොසිතන්න
කිසියම් පුද්ගලයෙක් ඔබෙන් මුදල් ඉල්ලා එය කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරනවා යැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස කරන්නේ කෙසේද? ඔබ වඩාත් හොඳින් හඳුනන හෝ එසේ නොවන තැනැත්තෙකුට මුදල් ලබාදීමේදී වුවද ඉතා පරිස්සම් විය යුතුය. ඊට හේතු ගණනාවක් ඇත. එම මුදල් ඉල්ලන තැනැත්තා පිළිබඳ ඇති විශ්වාසය කොතරම්ද, එම මුදල් යොදවන තැන කුමක්ද, එය නීත්‍යනුකූල එකක්ද යන්න ඔබ හරිහැටි තොරතුරු රැස්කර ගෙන මිස, මුදල් ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකිය.
විවිධ වෙස් ගැන්වූ පුද්ගලයන් ඔබ අවට සිටිය හැකිය. විවිධ වෙස් ගැන්වූ ආයෝජන මාර්ගයන් ඇති බව ඔබට පෙන්වා දිය හැකිය. ඉතා කෙටිකලකින් ඔබව පොහොසතෙකු කිරීමට හැකි බව පවසන අයද සිටිය හැකිය. එදිනෙදා පුවත්පත්වල පළවන ඇතැම් ප්රවෘත්ති මගින් එය වඩාත් පැහැදිලි වෙයි. මේ නිසා ඉතා කල්පනාකාරීව, විචක්ෂණශීලීව, බුද්ධිමත්ව ආයෝජනවලට ප්රවිෂ්ටවීම නියම ආයෝජකයෙකුගෙන් බලාපොරොත්තු වන්නකි.
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය යනු ගෙයින්ගෙට ගොස් මුදල් එකතු කිරීම නොවේ
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු වෘත්තීයමයභාවය අතින් ඉහළ, නීත්‍යනුකූලභාවයක් සහිත ඉතා විනිවිදභාවයක් සහිත ආයෝජන මාර්ගයකි. එය අවුරුදු සියයකට වඩා පැරණි ආයෝජන මාර්ගයකි. කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා බැඳුණු රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් ඇත. එවැනි ආයතනවල වෘත්තීයමය නිපුණත්වයක් සහිත නිලධාරීන්ගේ සේවාව එදා සිට අද දක්වා අඛණ්ඩව මෙරට කොටස් වෙළෙඳ පොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජකයන්ට තම සේවාවන් සපයමින් සිටියි.
මෙවැනි වටපිටාවක් සහිත ආයෝජන මාර්ගයකට මුදල් යොදවනවා යැයි පවසා ඔබේ නිවසට පැමිණ ඔබෙන් මුදල් ඉල්ලූ පමණින් එය කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යැයි සිතා කටයුතු කිරීම තරම් තවත් අනුවණ ක්‍රියාවක් නැතැයි කිව හැක්කේ එවැනි මුදල් විශාල ප්‍රමාණයක් එක්රැස්කර කොටස් වෙළෙඳ පොළේ ඒවා ආයෝජනය කරනවා යැයි පවසා ජනතාව රැවැට්ටූ දෙදෙනෙක් පසුගිය සතියේ නීතියේ රැහැනට හසුවීමේ පුවතත් සමගය. කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා සම්බන්ධ ආයතන පිළිබඳ විස්තරයක් මෙම ලිපියෙහි අවසානයේ සඳහන් වේ.
කොටස් වෙළෙඳ පොළෙහි මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නම්
ඒ සඳහා මුලින්ම කළ යුත්තේ තමන් ජීවත් වන ප්‍රදේශයේ ස්ථාපිත කොටස් තැරැව්කාර ආයතනයක් වෙත යාමය. එහි සිටින ආයෝජන උපදේශකයන්ගෙන් තමන් නොදන්නා කරුණු වීමසා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමටත් අවස්ථාව තිබේ. එවැනි කොටස් තැරැව්කාර සමාගම් ස්ථානගත වී ඇති තැන් සොයා ගැනීමට ඔබ කළ යුත්තේ කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ස්ථාපිත වී ඇති නගර සහ එහි ලිපිනයන් සොයා ගැනීමයි. මෙහිදී ඔබගේ දැනගැනීම සඳහා කොටස් වෙළෙඳ පොළෙහි ආරම්භ කර ඇති ශාඛා පිළිබඳ විස්තරයක් පහත දැක්වේ.
මෙම කොටස් වෙළෙඳ පොළ ශාඛා මගින් ආයෝජකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු සම්මන්ත්රණ සහ අනෙකුත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒ හා සම්බන්ධ විය හැකිය. එමෙන්ම, www.cse.lk යන කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියට පිවිසීම මගින් මෙම කොටස් තැරැව්කාර ආයතන සහ කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා පිළිබඳ විස්තර ලබාගත හැකිය. එමෙන්ම ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධ විවිධ පාඨමාලා සඳහා ලියාපදිංචි වීමටත් ඉන් අවකාශ සලසා ඇත.
මෙම ශාඛා ජාලයට අමතරව දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින්ද කොටස් තැරැව්කාර ආයතන අතුරින් සමහර ආයතන තම උප ශාඛා ආරම්භ කර ඇත. ආයෝජකයන්ට ගනුදෙනු පහසුකම් සැලසීමේ අරමුණින් මේ වනවිට ආරම්භ කර ඇති කොටස් තැරැව්කාර ආයතන සංඛ්‍යාව 35 ක් වන අතර, එම ආයතනවල ප්‍රධාන ශාඛාද කොළඹ නගරය ආශ්‍රිතව පිහිටුවා ඇත.
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය දිගුකාලීන ආයෝජනයකි
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු දිගුකාලීනව ඉහළ ප්රතිලාභ ලබාදෙන ආයෝජන මාර්ගයකි. පිළිගත් ව්‍යාපාරවල අයිතිකරුවන් වීමට එයින් අවස්ථාවක් උදාවෙයි. එහෙත් කෙටිකාලීනව ඉහළ ප්රතිලාභ ලබාදෙන බවට ඔබට කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී සහතිකයක් ලබා නොදෙන්නේය. කෙටිකාලීනවත් ප්රතිලාභ ලබාගත හැකි අවස්ථා ඇත. නමුත් ඔබට සෑහීමකට පත්විය හැකි, ඉහළ ප්‍රතිලාභයක් ලබාගැනීමට නම්, කලක් බලා සිටිය යුතුය. මේ නිසා කෙටිකාලීනව ඉහළ ප්රතිලාභ ලබාදෙන කිසියම් මුදල් යොදවන ක්‍රමයක් පිළිබඳව යමෙක් ඔබව දැනුවත් කරයි නම්, ඒ පිළිබඳව ඉතා විමසිලිමත් විය යුතුය.
ඔබ වෙත ලැබෙන ලිපි ලේඛන මගින් තහවුරු කිරීමක්
කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු ඔබ සමාගමක/ව්‍යාපාරයක අයිතිකරුවෙකු බවට පත්වීමකි. ඒ අනුව, ව්‍යාපාරයක අයිතිකරුවෙකු වශයෙන් එම සමාගම්වල කාර්යසාධනය පිළිබඳව වරින් වර ලිපි ලේඛන, වාර්තා කොටස් හිමියන් වෙත ලබාදෙනු ඇත. මෙම ලිපි ලේඛන මගින් ඔබට යම් අදහසක් ඔබගේ ආයෝජනය සම්බන්ධයෙන් ලබාගත හැකිය. එහෙත් නීත්‍යනුකූල නොවන වංචාකාරී පුද්ගලයන්ට මුදල් ලබාදුන් විට මෙවැනි නීත්‍යනුකූල ලිපි ලේඛන වාර්තා ඔබ වෙත නොලැබෙනු ඇත. එවිට සිදුවනුයේ ඔබ මුදල් ලබාදුන් පුද්ගලයා හෝ පුද්ගලයන් හෝ ආයතන කියන දේ පමණක් අසා සිටීම හැර අන් කිසිවක් නොවේ.
ආයෝජන උපදෙස් ඕනෑම කෙනෙකුට ලබා දිය නොහැක
කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජන උපදෙස් ලබාදිය හැකිකේ ඒ සඳහා නීත්‍යනුකූල බලපත්‍රලාභී නිලධාරීන්ට පමණි. ඔවුන් සතුව ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය වේ. තවද, එම සුදුසුකම් ඕනෑම ආයෝජකයෙකු ඉල්ලූ විට වුවද පෙන්වීමේ හැකියාව ආයෝජන උපදේශකයන් සතු විය යුතුය. එවැනි සුදුසුකම් ලැබූ අය ඔබට මුණගැසිය හැක්කේ කොටස් තැරැව්කාර සමාගම්වලින් පමණි.
මෙම ආයෝජන උපදේශකයන් සඳහා එසේ වෘත්තීය සුදුසුකම් ලබාදෙන ආයතනයක් වනුයේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවයි. එමගින් පවත්වන පාඨමාලා සමත්වී අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීමද අත්‍යවශ්‍ය වේ. එසේම, නිසි ආයෝජන උපදේශකයෙකුවීමට කර්මාන්තයේ නියැළී සිට වෘත්තීය පළපුරුද්ද සහ ක්ෂේත්රයේ නිපුණ විද්වත් මණ්ඩලයක් හමුවේ සම්මුඛ පරීක්ෂණවලටද සහභාගීවී එයින් සමත් විය යුතුය. මේ අනුව, ගෙයින්ගෙට ගොස්, පාර තොටේදී හමුවී හෝ වෙනත් අක්‍රමවත් ආකාරයෙන් කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කිරීමට යැයි පවසමින් ඔබෙන් යම් පුද්ගලයෙකු මුදල් ඉල්ලූ විට එවැනි අයගෙන් පරිස්සම් වීම ඉතා වැදගත් වේ.
ඒකාකාරී ප්‍රතිලාභයක් කොටස් වෙළෙඳ පොළෙන් අපේක්ෂා කළ නොහැකිය
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු කිසි අවස්ථාවක සහතික වූ ප්‍රතිලාභයක් ලබාගත හැකි ආයෝජන මාර්ගයක් නොවන බව ඕනෑම ආයෝජකයෙකු සිහි තබාගත යුතුය. කවුරුන් හෝ එසේ පවසා ඔබෙන් මුදල් ඉල්ලන්නේ නම් එය කිසිසේත්ම කොටස් වෙළෙඳ පොළ ආයෝජනය නම් නොවේ.
එහෙත් තවමත් එසේ මුදල් ලබාදෙන අය සිටින බව අප ඉහත සඳහන් කළ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වේ. විශාල පිරිසකගෙන් මෙසේ මුදල් ලබාගෙන එසේ ලබාගන්නා මුදලින් වරින් වර ප්රතිලාභ ලබාදීමට එවැනි වංචා සහගත පුද්ගලයන් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. එහෙත් එය සිදුකළ හැක්කේ දින කිහිපයක් හෝ ඉතා සුළු කාලයක් පමණි. මෙවැනි වංචා සහගත මුදල් එක් රැස්කිරීමේ ක්‍රම ඔබට ඕනෑ තරම් මාධ්‍යවල පළවී ඇති අයුරු දැකගත හැකිය. එපමණක් නොව එසේ මුදල් ලබාදුන් පුද්ගලයන්ට නීතිය ඉදිරියට හෝ යාමට හැකියාවක් නොමැති අවස්ථාද ඇත. ඊට හේතුව කිසිදු ලියකියවිල්ලක් හෝ තමන් සතුව නොමැති බැවිනි. ඒ අනුව, මෙවැනි ප්රයෝගකාරී මුදල් රැස්කරන්නන්ට හසු නොවී නිසියාකාරයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන අයට එවැනි අවදානමක් නොමැති බව පැහැදිලිය. මේ නිසා දිගුකාලීනව වඩාත් ඉවසිලිවන්තව කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නන්ට සමාගම් ලාභාංශ, ප්‍රාග්ධන ලාභ ඇතුළු අනෙකුත් ප්රතිලාභ රැසක් ලබාගැනීම සඳහා අවස්ථාව ඇත.
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා සම්බන්ධ පාර්ශ්ව
කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට ප්‍රවිෂ්ට වන ආයෝජකයෙකු ඒ හා සම්බන්ධ පාර්ශ්ව මොනවාද යන්නත් දැන සිටීම වැදගත් වන අතර, විවිධ වංචාකාරී පුද්ගලයන් හෝ ආයතනවලට හසුවීමෙන් වැළකීම සඳහාද එය උපකාරී වේ. පහත සඳහන් වන්නේ කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ප්‍රධාන වශයෙන් ආයෝජකයෙකුට මුණගැසෙන ආයතන අතුරින් කිහිපයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd