ඉහළ සමාජ අපේක්ෂා සහ ඒවා මුදුන්පත් කරගැනීම සඳහා පිටු බලය සැපයිය යුතු පහළ ආදායම් තත්ත්වය අතර පරතරයක් පවතින බවත්, ඒ අනුව, මෙරට ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට අප උත්සුක විය යුතු බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2015 වාර්තාව එළිදැක්වීමේ උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී අමාත්‍යවරයා මෙම කරුණ අනාවරණය කළේය.
මානව සංවර්ධනය දර්ශකය සහ මෑතකදී එළි දක්වනලද ස්ත්‍රී-පුරුෂ සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා තිබුණත් සමාජ දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ඉහළ ත්ත්වයට සමානුරූපී ආර්ථික තත්ත්වය අතින් දියුණුවක් ශ්‍රී ලංකාව ලබා නොමැති බව අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව පළමු වැනි ලෝකයේ සමාජ දර්ශක සහ තුන් වැනි ලෝකයේ ආදායමක් ඇති රටක් යැයි ප්‍රකාශ වී ඇති බවත් ඔහු සිහිපත් කළේය.
"අපේ ආයු අපේක්ෂා කාලය සහ ළදරු මරණ අනුපාතය සංවර්ධිත රටවල මට්ටමට පවතිනවා. අධ්‍යාපනය හා සුභ සාධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමයි. එසේ වුවත් අපේ ජාතික ආදායම මේ සමාජ උන්නතතියට සරිලන මට්ටමක නැහැ. අපේ වර්තමාන ජාතික ආදායමට සහ රාජ්‍ය ආදායමට මෙම ඉහළ මට්ටමේ සමාජ තත්ත්වය දිගටම පවත්වා ගෙනයාම දුෂ්කරයි. ඉහළ සමාජ අපේක්ෂා සහ ඒවා මුදුන්පත් කරගැනීම සඳහා පිටු බලය සැපයිය යුතු පහත් ආදායම් තත්ත්වය අතර පරතරයක් පවතිනවා. මේ තත්ත්වයට සැපයිය හැකි නොයෙක් විසඳුම් අතර ජාතික ආර්ථිකයේ කාන්තාවන්ගේ භූමිකාව ගැන සමාලෝචනයක් කිරීමද වැදගත් වෙනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.