ශ්‍රී ලංකාවේ වක්‍ර සහ සෘජු බදු ආදායම 80% - 20% මට්ටමේ පවතින බවත්, දැනට බදු ගෙවමින් සිටින අය මතම බදු බර පැටවෙන බව ඉන් පිළිබිඹු වන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් ඊයේ (24දා) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී ආරම්භ වූ සම්මන්ත්රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"ඇත්තටම අපේ රටේ වක්‍ර සහ සෘජු බදු ආදායම 80 - 20 මට්ටමේ තමයි තියෙන්නෙ. හරියටම කිව්වොත් එම අනුපාතය 82 – 18ක් විතර. මේක පුදුමයට වගේම කනගාටුවට කරුණක්. බංග්ලාදේශය වගේ කලාපීය රටවල් ඒ අතින් අපව ඉස්සර කරගෙන යන්නෙ. අසැල්වැසි ඉන්දියාවේ මේ අනුපාතය 50 - 50 මට්ටමේ තියෙන්නෙ. අපේ රටේ ඒ අනුපාතය 80 – 20 මට්ටමේ තියෙනව කියල කියන්නෙ, අපි බදු බර පටවන්නේ දැනට බදු ගෙවමින් සිටින අයටමයි. " යනුවෙන් පවසා සිටියේය.
මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.