ශ්‍රී ලංකාව සිය අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩිකර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට දේපොළ විකිණීමට සිදුවිය හැකියැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ බව පැවසූයේ පස් අවුරුදු (2015-2020) තාක්ෂණ ආයෝජන සැලැස්ම ගැන වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීම සඳහා කොළඹදී පැවැති සංවාදයකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාව සිය ණයබර තුනී කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් සිටින බව ප්‍රකාශ වී තිඛෙනවා. දුගීකම අඩුකිරීම, විරැකියාව අඩුකිරීම ආදී ක්ෂේත්රවල යම් යම් ආර්ථීක ජයග්‍රහණ ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ වාර්ෂික ණය ගෙවීමේ හැකියාව ඉතාම භයානක තත්ත්වයකට ඇදවැටී තිබෙනවා. විවෘත ආර්ථීකය රටට ගෙනඑන අවස්ථාවේ (1977) ආණ්ඩුවේ වාර්ෂික මුළු ණය ගෙවීම (රු.මිලියන 1,894) ආණ්ඩුවේ මුළු ආදායමට (රු.මිලියන 6,686) දැරූ අනුපාතය 28% කි. 1994 දී එය 55.2% දක්වාත්, 2013 දී 102% දක්වාත් වර්ධනය වී තිබේ. එහි තේරුම ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා එදිනෙදා වියහියදම් මෙන්ම සංවර්ධනයටද අදාළ මුදල් ගෙවීමට ආණ්ඩුවට තවතවත් දේශීය හා විදේශීය ණයගැනීමට සිදුව තිබෙනවා.
විදේශීය ණය පියවන්නේ අපනයන ආදායම්වලින් ලැබෙන්නේ විදේශ මුදල් වලින්. 1977 දී විදේශීය ණය ගෙවීම අපනයන ආදායමෙන් 4.6% ක් වුණා. 2013 දී එය 16% ක් වී තිබෙනවා. මේ නිසා දේශීය විදේශීය ණය ගෙවීම් පාලනය කර රටේ ආදායම හා අපනයන ආදායම වැඩිකර ගැනීමට ක්‍රියා නොකළහොත්, රට භයානක ණය ගෙවීමේ ගැටලුවකට මුහුණදීමට ඉඩ තිබෙනවා. මෙවැනි ගැටලුවකට මුහුණදුන් ග්‍රීසිය, අයිස්ලන්තය, යුක්රේනය, ඉතාලිය ආදී රටවලට සිදුවුයේ ණයට හිලව් ලෙස සිය සාරවත් ඉඩම්, වරාය, දුම්රිය, විදුලි බලාගාර ආදියේ අයිතිය විදේශිකයන්ට දීමටයි. වහා පියවර නොගතහොත් ඉදිරි කාලයේ දී ලංකාවට ද ඒ ඉරණම අත්වීමට ඉඩකඩ පවතිනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකර ගැනීම ණය උගුලෙන් ගැලවීමට මහෝඝයක් බව පෙන්වා දෙමිනි.