මීට වර්ෂ 15කට පෙර ආරම්භ කරනලද ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය ස්වකීය 12 වැනි උපාධි ප්රදානෝත්සවය 2015 දෙසැම්බර් මස 21 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය හිලරි ඊ. ද සිල්වා මහතාද සහභාගි වූහ.
2014 නොවැම්බර් සහ 2015 මැයි මාසයේ පවත්වන ලද සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී විභාගවලට පෙනී සිටි සිසුන් පිළිගෙන ත්‍යාග ප්රදානය කිරීම මගින් සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය මෙම අවස්ථාවේදී තවත් සංධිස්ථානයකට පිවිසි බව ඔවුන් පවසයි. මෙම පිරිස අතර පදනම් අදියරේ සිසුන් 529ක්, මෙහෙයුම් අදියරේ සිසුන් 239ක්, කළමනාකරණ අදියරේ සිසුන් 156ක්, උපායමාර්ගික අදියරේ සිසුන් 98ක්, අවසන් අදියර සමත් සිසුන් 78ක්, සහතිකලත් පරිගණක ගිණුම්කරණ පාඨමාලාව සමත් සිසුන් 16ක්, ආශ්රිත කළමනාකරණ ගණකාධිකාරී තනතුරුලාභීන් 50ක්, ත්‍යාගී දිනුම්ලාභීන් 35ක්, ආශ්රිත සාමාජිකයන් 89ක්, අධි සාමාජිකයන් 6ක් සහ ශිෂ්‍යත්වධාරීන් 10ක් ඇතුළත් වූ බවද එම ආයතනය පවසයි. එමෙන්ම, පාසල් හැරගොස් සිටි සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක පිරිසකට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමද එදින සිදුකර තිබූ අතර, ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංඛ්‍යාව 100ක් වූහ.
ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයට සමාන මට්ටමකින් සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය යටතේ සංස්ථාගත කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනය හා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල වරලත් හා කළමනාකරණ ගණකාධිකරණ ආයතනද ඇතුළත් වන දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ මෙම ආයතනය සාමාජිකත්වය ලබා ඇති බවද ඔවුන් වැඩිදුටත් පවසයි.
මෙහිදී, වඩාත් නම්ය වූ හා විදේශ පාඨමාලාවලට වැයවන වියදමෙන් දහයෙන් එකක ප්‍රමාණයේ, වියදම් දැරිය හැකි තත්ත්වයේ පාඨමාලා ලබාදෙන බවද කියයි. එමෙන්ම, ආයතනය මගින් පවත්වනු ලබන විද්‍යුත් අධ්‍යාපනය, ස්වයං අධ්‍යාපනය හා පිළිගත් උපකාරක පන්ති පැවැත්වෙන විද්‍යාල මගින් මෙම කළමනාකරණ ගිණුම්කරණ වැඩසටහන අධ්‍යයනය කළ හැකි බවද පෙන්වා දෙයි.
මෙම ආයතනයේදී සුදුසුකම් ලබා සාමාජිකත්වය ලබන අය වෙනුවෙන් ආශ්රිත සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ට ACMA ලෙසත්, අධි සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ට FCMA ලෙසත් භාවිත කළ හැකි බවද ඔවුන් වැඩිදුටත් පෙන්වා දෙයි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ