2017 අයවැය යෝජනා සහ ඒ සමග පැමිණි ගැසට් නිවේදන අනුව ජනතාවට වඩාත් දැනෙන 1,000cc වලට වඩා අඩු පෙට්‍රල් වාහනවල මිල ඉහළ යෑම, ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන සඳහා ABS තිරිංග පද්ධති හා SRS එයාර්බෑග් අනිවාර්ය කර ඇති බවට කෙරෙන යෝජනාව සහ කාර්, වෑන් හා ජීප් රථ සඳහා වාහනයේ වටිනාකමින් 50% ක ලීසිං පහසුකමක් පමණක් ලබාදීම තුළ මධ්‍යම පන්තියේ පුද්ගලයෙකුට 'බේසික්' (අමතර විශේෂාංග නොමැති) වාහනයකවත් හිමිකරුවෙකු වීමට තිබූ අවස්ථාව ඇහිරී ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
2017 අයවැය යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.1,500/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, කියුබික් සෙන්ටිමීටර් 01කට රු.1,750/- දක්වා වැඩි කිරීමෙන් මරුටි, ඇල්ටෝ, ඉඔන්, ක්විඩ් ආදී මෝටර් රථවල මිල රු.200,000/- කින් පමණ ඉහළ යනු ඇති බව සඳහන් වෙයි.
1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද, 2016.11.11 වැනි දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි යම් යම් අඩු වැඩිවීම් මෙන්ම, මුල සිටම ක්‍රියාත්මක වූ CIF (මිල, රක්ෂණ, නැව් කුලී) මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.
එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,750/- ක් ලෙස රු.14,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.
කෙසේ වෙතත්, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1,000cc සිට 1,500cc දක්වා, 1,500cc සිට 1,600cc දක්වා සහ 1,600cc සිට 1,800cc දක්වා වාහන පන්තිවල බදු සංශෝධනයක් සිදුව නොමැති වුවත්, 1,800cc සිට 2,000cc දක්වා වාහන පන්තියක් හඳුන්වා දෙමින් බදු සංශෝධනයක් සිදුකර ඇත. මීට පෙර 1,600cc සිට 2,000cc ලෙස පැවති වාහන පන්තිය බෙදා වෙන්කරමින් 1,800cc සිට 2,000cc දක්වා වාහන පන්තිය හඳුන්වාදී තිබේ. ඒ අනුව, එන්ජින් ධාරිතාව 1,800cc සිට 2,000cc දක්වා වාහන පන්තියේ පෙට්‍රල් වාහන සඳහා මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.4,500/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, රු.5,500/- දක්වා වැඩිකර ඇති අතර, එම පන්තියේ හයිබ්‍රිඩ් වාහන සඳහා මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.4,000/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, රු.4,500/- දක්වා වැඩිකර ඇත. මේ තත්ත්වය තුළ එන්ජින් ධාර්තාව 1,800cc වලට වඩා වැඩි, 2,000cc වලට වඩා අඩු SUV මාදිලියේ පෙට්‍රල් වාහනයක මිල රු.මිලියනයකින් පමණ ඉහළ යනු ඇති බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. මේ අතර, එන්ජින් ධාරිතාව 2,500cc වලට වඩා වැඩි ඩීසල් SUV රථවල මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.7,500/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, රු.7,000/- දක්වා අඩු කිරීමද විශේෂත්වයකි. මේ නිසා ඉහළ එන්ජින් ධාරිතාවයෙන් යුතු ඩීසල් මෝටර් රථ හා SUV රථවල මිල රු.12,50,000/- කින් පමණ අඩු කරමින් ඇති හැකි අයට සහනයක් ලබාදීමටද මෙම අයවැය මගින් කටයුතු සම්පාදනය කර ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට අමතරව, 2017 අයවැය මගින් ත්‍රිරෝද රථ සඳහා මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.1,600/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, රු.1,850/- දක්වා වැඩිකිරීම තුළ වෙළෙඳ පොළේ ත්‍රිරෝද රථයක මිල රු.50,000/- කින් පමණ ඉහළ යනු ඇත. එමෙන්ම, ත්‍රිරෝද රථ සඳහා ලීසිං පහසුකම් සැපයීම වාහනයේ වටිනාකමින් 25% දක්වා සීමා කිරීම තුළ ත්‍රිරෝද රථ මිලදී ගැනීම, ත්‍රිරෝද රථයක අවශ්‍යතාව තදින්ම දැනෙන අයෙකු පමණක් වෙත යොමුවනු ඇති බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ භාවිතය අධෛර්යමත් කිරීමේ රජයේ වෑයමේ පියවරක් ලෙස මෙම අයවැය යෝජනාව සැලකිය හැකි අතර, මෙහි සාධනීය පැතිකඩක්ද නැතුවාම නොවේ.
එමෙන්ම, මෙවර අයවැයෙන් යතුරුපැදි සඳහාද ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වාදීමට රජය කටයුතු කර ඇති අතර, මෙමගින් යතුරුපැදිවල මිල ඉහළ යෑමක්ද ඉදිරියේදී සිදුවිය හැකි බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට අමතරව, ඩීසල් ඩබල් කැබ් රථ සඳහා මෙතෙක් CIF මිල මත නිෂ්පාදන බදු අයකිරීමක් පැවතුණි. කෙසේ වෙතත්, මෙවර අයවැයෙන් ඒ සඳහා රු.ලක්ෂ 50ක අවම නිෂ්පාදන බද්දක්ද පනවා තිබේ. එනම්, මීට පෙර ඩබල් කැබ් රථයක් මෙරටට ගෙන්වීමෙන් පසුව CIF මිල මත ඒ සඳහා රු.ලක්ෂ 30ක්, 35ක්, 38ක්, 40ක් ආදී වශයෙන් නිෂ්පාදන බද්දක් ගෙවූයේ යැයි සිතුවොත්, දැන් එහි අවම බද්ද රු.ලක්ෂ 50ක් නිසා, එම අගය බදු මුදල් වශයෙන් ගෙවීමට සිදුවෙයි. එනම්, 'බේසික්' ඩබල් කැබ් රථයක් මිලදී ගන්නා පුද්ගලයා, 'ෆුල් ඔප්ෂන්' ඩබල් කැබ් රථයක් ගෙන්වීමේදී ගෙවන බදු මුදලම ගෙව්වා හා සමාන සිදුවීමක් මෙම නව බදු සංශෝධනය නිසා සිදුවෙයි. මීට අමතරව, ආසන 13 ට වැඩි මගී වෑන් රථ සඳහාද රු.ලක්ෂ 45ක අවම නිෂ්පාදන බද්දක් පනවා තිබේ. මේ තත්ත්වය තුළ ආසන 13 ට වැඩි වෑන් රථයක මිල රු.ලක්ෂ 11කින් පමණත්, ඩබල් කැබ් රථයක මිල රු.ලක්ෂ 13.5කින් පමණත් ඉහළ යනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඩුවල් පර්පස් වෑන් රථවල, එනම් ඩිලිවරි වෑන් ආදියෙහි නිෂ්පාදන බද්ද ලක්ෂ 4කින් පමණ අඩුවීමක් මෙවර අයවැය සංශෝධන තුළ සිදුවනු ඇත. මීට අමතරව, හයිබ්‍රිඩ් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති අතර, ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිලෙහි සුළු පහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන සඳහා ABS තිරිංග පද්ධති හා SRS එයාර්බෑග් අනිවාර්යය කර ඇති බවට කෙරෙන යෝජනාවද තවත් සුවිශේෂී හා විවාදයට තුඩුදී ඇත්තකි. සාමාන්‍යයෙන් මෝටර් රථවල එයාර් බෑග් විශේෂාංගය අත්‍යවශ්‍යම අංගයක් ලෙස සැලකිය නොහැකි බව වෙළෙඳ පොළ විමසීමේදී දැනගන්නට ලැබේ. 'බේසික්' වාහනයක් මිලදී ගන්නා අයෙකුට එයාර්බෑග් හෝ ABS තිරිංග ලබාදීම වාහනයේ මිල තවත් කිහිප ගුණයකින් වැඩිවීමක් වන අතර, මේ තුළින් 'බේසික්' වාහන ගෙන්වීම රජය හිතාමතා පැහැර හැරීමක් සිදුකර ඇති බවත්, එය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු කඩකිරීමක් ලෙසත් චෝදනා නැඟෙයි.
විශේෂයෙන්ම මෙවැනි තීරණයකට එළැඹීමේදී දැනට වෙළෙඳ පොළේ පවතින 50% කට වැඩි 'බ්‍රෑන්ඩ් නිව්' මෝටර් රථවල පවා ABS තිරිංග පද්ධති හා SRS එයාර්බෑග් නොමැති බව අවබෝධ කරගත යුතු බවත්, ABS තිරිංග පද්ධති නොමැති වීමෙන් ඒ වාහන කොපමණ සංඛ්‍යාවක් අනතුරට පත්ව තිබේද, ඒ වාහනවල SRS එයාර්බෑග් නොමැති වීමෙන් අනතුරු මගින් කොපමණ පිරිසකට හානි පැමිණ වී තිබේද ආදී කරුණු පිළිබඳව කිසියම් නිශ්චිත සොයාබැලීමක් මුදල් අමාත්‍යාංශය විසින් සිදුකළේද යන්නත් බොහෝ දෙනා ප්‍රශ්න කරති.
ඒ අනුව, සමස්තයක් ලෙස 2017 අයවැය යෝජනාවලියේදී මෝටර් රථ සම්බන්ධයෙන් සිදුකර ඇති සංශෝධනවලදී ඉතා සුළු වශයෙන් සාධනීය කරුණු කිහිපයක් පැවතියත්, සමස්තයක් ලෙස පොඩි මිනිසා කබලෙන් ලිපට තල්ලු කරදැමීමක් සමග ඇතිහැකි අයට සහන සැලසීමක් දැකිය හැකි බවට චෝදනා නැඟෙයි.