රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) විසින් MH55S Wagon R රථද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් යැයි පවසා, ඒ සඳහාද පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් Wagon R රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව පැවසෙයි.
පසුගියදා කොළඹදී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය වී ඇත.
මෙහිදී වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමග ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයාබැලීමකින් තොරව, රේගුවේ මෝටර් රථ අංශය විසින් MH55S Wagon R රථ හයිබ්‍රිඩ් ලෙස නොව, පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීමට පසුගිය 22දා සිට තීරණය කර ඇති බවයි.
රේගුවේ මෙම තීරණය හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන MH55S Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 36-37 ක් පමණ වනු ඇති බවට ආනයනකරුවන් මෙහිදී කියා සිටියේය. මෙම මිලට ශ්‍රී ලංකාව තුළ Wagon R රථ අලෙවි කිරීමට නොහැකි හෙයින්, Wagon R මෝටර් රථ ආනයන නැවැත්වීමට තමන්ට සිදුවන බව ඔවුහු වැඩිදුරටත් පවසති.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් Wagon R රථ සඳහා බදු වැඩිවේ යැයි අනියත බියක් ඇති කරගෙන කලබලවී Wagon R රථ මිලදී ගැනීමට හදිසි නොවිය යුතු අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ මතයද විමසා බැලීම වටී.