ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා වංචනිකව මුදල් ලබාගැනීම පාලනයට ගනුදෙනුකරුවන්ට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා බෑන්ක්ස් ඇසෝසියේෂන් (ගැරැන්ට්) ලිමිටඩ් සහ පේමන්ට් කාඩ් ඉන්ඩස්ට්‍රි ඇසෝසියේෂන් ශ්‍රී ලංකා ආයතන ඉල්ලීමක් කරයි.
ATM යන්ත්‍ර හරහා වංචනික ලෙස තම ඉතුරුම්/ජංගම ගිණුම් හි ඇති මුදල් ලබාගෙන ඇති බව ගනුදෙනුකරුවන් කිහිපදෙනෙකු වෙතින් සිය සාමාජික බැංකු වෙත පැමිණිලි ලැබී ඇති බව ඔවුන් කියයි. මෙම වංචා සිදුව ඇත්තේ කාඩ්පත් හි දත්ත වංචනික ලෙස සොරාගෙන ව්‍යාජ ලෙස සකස් කරගත් කාඩ්පත් හරහා වන බවත්, පැමිණිලි ලද වහාම මේ සම්බන්ධයෙන් මූලික පරික්ෂණ ආරම්භ කර ගිණුම් ශේෂයන් යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔවුන් කියයි.
මූලික ආරක්ෂණ පියවරක් ලෙස දත්ත වංචනික ලෙස ලබාගත්තා යැයි හඳුනාගත් ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන ලද කාඩ්පත් හිමියන් හා සම්බන්ධ වෙමින් ඉදිරි ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුවත් කළ බවද ඔවුන් කියයි.
මීට අමතරව, මෙම තත්ත්වය පාලනය කිරීමට සියලුම සාමාජික බැංකු අවශ්‍ය සියලු පියවර ගන්නා ලද බවත්, වංචනිකයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අදාළ අංශ සමඟ යුහුසුළුව කටයුතු කරමින් සිටින බවත් වගකීමෙන් දන්වා සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.
ATM හරහා ගනුදෙනුවල සුරක්ෂිතතාව සුරැකීමට සිය සාමාජිකත්වය නිරන්තරයෙන් ඇපකැප වී සිටින බවත්, කිසියම් සැකකටයුතු ගනුදෙනුවක් ඔබගේ ගිණුමේ දක්නට ඇත්නම් වහාම තම බැංකුව දැනුවත් කරන ලෙසද ඔවුන් දැනුම් දෙයි. ඊට අමතරව, ගනුදෙනු තොරතුරු ලබාගැනීමට කෙටි පණිවිඩ (SMS) සේවාව සක්‍රීය කරගන්නා ලෙසටද ඔවුන් මහජනතාව වෙත ඉල්ලීමක් කරයි.