ආදායම් ඉහළ නංවා ගත හැකි, ජීවන බර අවම කරගත හැකි අයවැය ලේඛනයක් 2017 වසර සඳහා ඉදිරිපත් කරන අතර, 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ සඳහන් යෝජනා 410න් අති බහුතරයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඇතැම් යෝජනා කාලරාමුවකට අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ 29 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"එදා රුපියල් 2,500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් බව කියපු අය අද අපට ආර්ථියක ගැන ටියුෂන් දෙන්න එනවා. අපි මෙවර එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විදිහ නීති විරෝධියි කියල බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියනවා. ඒක අපි ඉදිරිපත් කරල තියෙන්නෙ නීත්‍යානුකූල විදියටයි. සාමාන්‍යයෙන් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වෙන්නෙ සිකුරාදා දිනවලයි. එදින සිට ඊළග සිකුරාදා දිනය දක්වා එහි අතිරේක ප්‍රකාශයට පත් කෙරෙනවා. ඒ අනුව මේ බදු කෙටුම්පත 2016.09.09 දින ගැසට් පත්‍රය යටතේ පළ වන 2016.09.13 වැනි දින අතිරේකයේ පළ කර තියෙනවා. ඒ කියන්නෙ මේ කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළ දිනය විදියට ගන්න ඕනෙ 2016.09.09 දිනය නෙවෙයි 13 වැනිදායි. ඒ බව ඉතා පැහැදිලිව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය අපට දන්වල තියෙනවා." යනුවෙනි.