2005 දී වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර දෙසැම්බර් 31 වැනිදා මෙරට ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91% ක් බවත්, 2014 අවසන් වනවිට එම ණයබරතාව ද.දේ.නි. සාපේක්ෂව 75% ක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
'අද ආර්ථික පිටුවේ වෙනස්මගක් ගත් කතාබහ' සමග එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පසුගිය සිකුරාදා (26දා) මෙම අනාවරණය කළේය.
"2005 දී වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර දෙසැම්බර් 31 වැනිදා අපේ ණය බරතාව තිබුණෙ, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91% ක් ලෙසයි. ඒ කියන්නෙ, ආදායම 100 යි, ණය 91 යි. ඊට කලින් කාලවලදී පාරවල් හැදුවෙත් නැහැ. ගල් අඟුරු බලාගාර හැදුවෙත් නැහැ. ගුවන්තොටුපොළවල් හැදුවෙත් නැහැ. වරායවල් හැදුවෙත් නැහැ. ඇත්තටම කිව්වොත්, හැදිච්ච දෙයක් නැහැ. මම දැකපු දේකුත් නැහැ. අනෙක බොහෝදෙනාගේ මතය වුණෙත්, ඒ කාලයේදී මුකුත්ම වුණේ නැහැ යන්නයි. එතකොට රටේ ණයබරතාව තිබුණෙ, දළ දේශීය නිෂ්පාදිතයට සාපේකෂව 91% යි. අද ඒ කියන්නෙ, 2014 අවසන් වනවිට රටේ ණයබරතාව 75% යි. පුරෝකථනයන් අනුව එය 75% කට පොඩ්ඩක් අඩු වුණොත් මිසක්, වැඩි වෙන්නේ නැහැ. එතනදි, අපේ ණයබරතාව 2005 ට වඩා හොඳද නරකද? අපේ ණයබරතාව අඩුවෙලා බව ඔබටම පැහැදිලියි නේද?" යනුවෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.