හරිත බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂිත ආයතනවලට සහාය
කොළඹ කොටස් වෙළඳපොළ සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) හරිත, සමාජීය, තිරසාර සහ තිරසාරභාවයට සම්බන්ධ බැඳුම්කර (GSS+) ලැයිස්තුගත කිරීම් සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) විසින් ඒකාබද්ධව නිවේදනය කර ඇත්තේ, හරිත, සමාජීය, තිරසාර සහ තිරසාරභාවයට සම්බන්ධ බැඳුම්කර (GSS+) නිකුත් කිරීමට අපේක්ෂා කරන ආයතනවලට GGGI ආයතනයෙන් තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා දැන් අයැදුම් කළ හැකි බවයි. අදාළ අයැදුම්පත් කැඳවීම කොළඹ කොටස් වෙළඳපොළ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2026 ඔක්තෝබර් 26 වැනි දින දක්වා විවෘතව පවතී.
මෙම ක්‍රියාකාරකම හරහා, තෝරා ගන්නා ලද GSS+ බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂිත ආයතන සඳහා GSS+ බැඳුම්කර රාමුවක් සකස් කරගැනීම, දෙවැනි පාර්ශ්වීය මත (SPO) සම්බන්ධීකරණය, නිකුතුවෙන් පසු වෙන්කිරීම් සහ බලපෑම් වාර්තාකරණය (පළමු වසර සඳහා), සහ ධාරිතා වර්ධනය යන අංශ සම්බන්ධයෙන් අවශ්‍යතා මත පදනම් වූ තාක්ෂණික සහාය ලබා ගත හැකිය. මෙම ක්‍රියාකාරකම යටතේ ලබාදෙන සියලුම තාක්ෂණික සහයන්, දෙවැනි පාර්ශ්වීය මත (SPO) පිරිවැයද ඇතුළුව, තෝරා ගන්නාලද අයැදුම්කරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ලැබේ.
GGGI යනු සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගීඑන ආර්ථිකයන්හි ශක්තිමත්, ඇතුළත් සහ තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහයෝගය දැක්වීමට සහ එය ප්‍රවර්ධනය කිරීමට කැපවූ ගිවිසුම් මත පදනම් වූ ජාත්‍යන්තර, අන්තර් රාජ්‍ය සංවිධානයකි. දකුණු කොරියාවේ සෝල් නගරයේ මූලස්ථානය පිහිටා ඇති GGGI ආයතනය, රටවල් 50කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කරයි. ශ්‍රී ලංකාව 2019 වසරේදී එහි සාමාජික රාජ්‍යයක් බවට පත් වූ අතර, සත්කාරක රටේ ගිවිසුම 2023 වසරේදී අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය අවකාශය තුළ GGGI ප්‍රබල වාර්තාවක් හිමිකරගෙන ඇත. ලක්සම්බර්ග් රජයේ අරමුදල් සැපයීමෙන් ක්‍රියාත්මක වන තිරසාර මූල්‍ය උපකරණ පිළිබඳ ගෝලීය භාර අරමුදල (GTF) හරහා, GGGI මීට පෙර තේමාත්මක බැඳුම්කර තුනක් නිකුත් කිරීමට සහාය විය (ශ්‍රී ලංකාවේ පළමු නිල් බැඳුම්කරයද මීට ඇතුළත් වේ). එමඟින් ශ්‍රී ලංකාව තුළ දේශගුණයට අනුකූල ආයෝජන සඳහා ඇ.ඩො.මිලියන 110කට අධික මුදලක් සමස්තයක් ලෙස බලමුලු ගැන්වීමට හැකි විය. මෙම ආයතනවලින් ආයතන දෙකක් පසුව 2026 Environmental Finance Sustainable Debt Awards උළෙලේදී අභිනුමනට ලක් විය. එසේම, GGGI ආයතනය එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිසම (UNESCAP) සමඟ එක්ව, රටේ ප්‍රථම ස්වෛරී හරිත බැඳුම්කර රාමුව (Sovereign Green Bond Framework) සැලසුම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයටද සහාය ලබා දී ඇත.
කොළඹ කොටස් වෙළඳපොළ විසින් 2024 වසරේදී GSS+ බැඳුම්කර හඳුන්වා දෙන ලද අතර, එතැන් සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ GSS+ බැඳුම්කර නිකුතු 12 ක් සිදු කර ඇත. ඒ හරහා රුපියල් බිලියන 92 කට අධික ප්‍රාග්ධනයක් බලමුලු ගන්වා ඇති අතර, 2025 වසරේදී රැස් කරන ලද ණය ප්‍රාග්ධනයෙන් 40% ක්ම GSS+ උපකරණ හරහා ලබා ගෙන ඇත. 2026 Environmental Finance Sustainable Debt Awards උළෙලේදී නව්‍ය GSS+ බැඳුම්කර නිකුතු සඳහා ශ්‍රී ලංකාවේ ආයතන තුනකට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වීමත් සමඟ, හරිත මූල්‍යකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් වර්ධනය වන ජාත්‍යන්තර පැවැත්මක් සහ වෙළඳපොළේ වැඩෙන විශ්වසනීයත්වය මින් මනාව පිළිබිඹු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
