විරහව සහ ප්‍රේමයේ ස්වර ප්රකාශනය, ’’වරදක් වුණා වගේ’’

නූතන සුභාවිත ගීතයේ ප්‍රේමය, විරහව ඇතුළු මානව හැඟීම් ප්රකාශනය විවිධ හැඩතල ඔස්සේ ප්‍රතිනිර්මාණය වෙමින් පවතී. ඒ ඇතැම් ගීත නිර්මාණ ක්ෂණික ජනප්‍රියත්වයකට සීමා වෙද්දී, තවත් නිර්මාණ මිනිස් හදවත්හි සියුම් තන්තු ස්පර්ශ කරමින් දිගුකාලීන මතක සටහන් ඉතිරි කිරීමට සමත් වේ. ටී.එම්. සුජීව මංජුල ගේයපද රචනයෙන්ද, අනුරාධ අබේසිංහ තණු හා සංගීත නිර්මාණයෙන්ද, විරාජ් නිරෝෂන් සිය ලයාන්විත හඬ පෞරුෂයෙන්ද ඔපමට්ටම් කළ "වරදක් වුණා වගේ" ගීතය වත්මන් සුභාවිත ගීත සාහිත්‍යයට එකතු වන්නේ සහෘද මනස ප්‍රකම්පනය කළ හැකි තවත් සුවිශේෂී නිර්මාණයක් ලෙසිනි. මේ අපූර්ව ගීතයේ පද මාලාව, සංගීතමය සංයුතිය සහ ගායන හඬ පරාසය ගැන අප වැඩිදුරටත් කතාබහ කළේ ගේයපද රචක ටී.එම්. සුජීව මංජුල සමගිනි.
ප්‍රවීණයන් ඇසුරේ හැඩවුණු සංගීත ජීවිතය
ටී.එම්. සුජීව මංජුල යනු ක්ෂේත්රයට ආධුනිකයෙකු වුවද, සංගීතය පිළිබඳ මනා හැදෑරීමක් ඇති නිර්මාණකරුවෙකි. සරසවිපාය කලායතනයෙන් සංගීතය හදාරමින්, මුලින්ම තබ්ලා වාදනය ඉගෙන ගත් ඔහු, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ. ශ්‍රියාරත්න, පී.වී. නන්දසිරි සහ ලයනල් අල්ගම වැනි මෙරට අග්‍රගණ්‍ය ප්‍රවීණයන් යටතේ ශිල්ප ලැබීමේ භාග්‍යය ලැබූවෙකි. වාදනයට වඩා කවියට, ගීතයට සහ ඒවායේ ගවේෂණාත්මක පැතිකඩට ඇලුම් කළ ඔහු, මුල් කාලයේ ලියූ නිර්මාණ ප්‍රචාරය කර ගැනීමට ක්‍රමයක් නොමැතිව විසි කර දැමූ අවස්ථා එමටය. පසුව ඔහුගේ සහජ දක්ෂතාව හඳුනාගත් හිතවතුන්ගේ දිරිගැන්වීම මත නිර්මාණකරණය දිගටම කරගෙන යාමට ඔහු තීරණය කළේය.
"වරදක් වුණා වගේ" ගීතය බිහිවීම සහ පසුබිම
වර්තමානයේ යූටියුබ් අවකාශය තුළ රසික ආකර්ෂණය දිනාගනිමින් පවතින "වරදක් වුණා වගේ" ගීතය බිහිවන්නේ ගායන ශිල්පී විරාජ් නිරෝෂන් සමඟ ඇතිවූ මිතුදමෙහි දිගුවක් ලෙසිනි. ඔහු විරාජ් වෙනුවෙන් ලියූ දෙවැනි ගීතය වන මෙයට වස්තු විෂය වී ඇත්තේ ජාතීන් දෙකක් අතර ඇතිවන ප්‍රේමනීය බැඳීමකි. එය කවරාකාර ස්වරූපයකින් ඉස්මතු වුවද, ආදරය රඳා පවතින්නේ මිනිසත්කම මත යැයි ඔහු මෙම ගීතය හරහා පැවසීමට උත්සාහ කළේය.
"අද බිහිවන බොහෝ ගීතවල සංගීතයට සහ ශබ්ද රසයට මුල් තැන දුන්නත්, වචනවල අර්ථ රසය ගිලිහී ගිහින්. මට අවශ්‍ය වුණේ 60, 70 දශකයේ තිබුණු ඒ අර්ථපූර්ණ ගීත රසිකත්වය නව පරපුර වැළඳගන්නවාද කියා උරගා බලන්නයි. ලෝකය රඳා පවතින්නේ ආදරය මතයි. ආදරයේදී ජාතියට, කුලයට වඩා මිනිසත්කමයි වැදගත් වන්නේ. ඒ පණිවිඩය ඉතාම සරල වචනවලින් රසිකයාගේ හදවතට ලබාදීම මගේ අරමුණ වුණා" යැයි සුජීව පැවසුවේය. ඔහුගේ ප්රයත්නය මල්ඵල ගන්වමින් "වරදක් වුණා වගේ" ගීතයේ මුල් වචන කිහිපය රසිකයන් නිරායාසයෙන් මුහුණන වචන පෙළක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ප්රවීණයන්ගේ දායකත්වයෙන් ඔපවත් වූ තනුව
ගීතයක සාර්ථකත්වයට පද මාලාව සේම තනුව සහ සංගීත සංයෝජනයද එකලෙස බලපායි. අනුරාධ අබේසිංහයන්ගේ සුභාවිත තනුවට හා සංගීතයට සාධාරණයක් ඉටුකිරීම සඳහා මෙරට සිටින ප්රමුඛ පෙළේ වාදක මණ්ඩලයක් දායක වී ඇත. මහින්ද බණ්ඩාර, සංගීත් වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් මහතාගේ ඥාති සහෝදර මහේන්ද්‍ර පැස්කුවල් මෙන්ම බෝගොඩ පරපුරේ ජනක බෝගොඩ සහ තබ්ලා වාදක නිහාල් කළුබෝවිල ඇතුළු ගුවන් විදුලියේ ඉතාම විශිෂ්ටතම සංගීතඥයන් කිහිප දෙනෙකුගේම ප්‍රවීණ සංගීත මුද්‍රාව මෙම ගීතයට එකතු වී ඇත්තේ එහි ප්‍රමිතිය ඉහළ නංවමිනි.
"වරදක් වුණා වගේ" ගීතය වඩාත් ආකර්ෂණීය ලෙස රසික හදවත් සමග යා කරන, ගායන ශිල්පී විරාජ් නිරෝෂන් පිළිබඳව එහි පද රචකයා දක්වන්නේ මෙවැනි අදහසකි. "විරාජ් කියන්නේ මහා පරිමාණයෙන් නිර්මාණ කරපු කෙනෙක් නොවෙයි. නමුත් ඔහුට අපූරු හඬ පරාසයක් තියෙනවා. ගීතයේ අර්ථයට සහ සංගීතයට උපරිම සාධාරණය කරන්න ඔහුගේ හඬ පෞරුෂයට පුළුවන් වුණා. ප්‍රවීණයන් පස්සේ නොගොස්, සැඟවී ඇති මෙවැනි දක්ෂයන්ට අවස්ථාව දීම වටිනවා."
ගීත හා කවි එකතුවක් සහ ඉදිරි බලාපොරොත්තු
සිය පන් හිඳෙන් බිහිවූ විශිෂ්ට නිර්මාණයන් කිහිපයක්ම පවතින අතර, ඉදිරියේදී තවත් ප්‍රවීණ ගායක ගායිකාවන් පිරිසකට ගීත රචනා කිරීමට සුජීව බලාපොරොත්තු වෙයි. ඉන් නොනැවතී, තමා ලියූ ගීත සහ කවි එකතු කර ග්රන්ථයක් ලෙස එළිදැක්වීමේ සූදානමකින් පසුවන බවද ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.
ටී.එම්. සුජීව මංජුල - 077-9278360
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
