2018.03.31 දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතාවයන් හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ.
ඒ අනුව, එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කිලිනොච්චි යෙහි පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලයක් වෙත භාර දෙන ලෙස හෝ එම මුදල් නෝට්ටු පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවන ලෙස මහජනතාව වෙත මෙයින් දැනුම් දෙයි. අදාල අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) බාගත හැකි අතර ප්‍රාදේශීය කාර්යාල හෝ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් වෙතින්ද ලබාගත හැකි බව මහ බැංකුව පවසයි.
තවද, අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සළකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ලෙස නොසලකන අතර එවැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිතා කළ හැකි බවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙයි.
මීට අමතරව සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා/හෝ වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හඳුනාගත හැකි වන පරිදි ව්‍යවහාර මුදල් සැකසීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කරන ලෙස සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස් ලබා දී ඇත. කෙසේ වුවද, ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) හෝ වෙනත් ව්‍යවහාර මුදල් හැසිරවීමේ යන්ත්‍රයක් හරහා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් සාමාන්‍ය මහජනතාව අතට පත් වූ අවස්ථාවකදී එම මුදල් නෝට්ටුව ළඟම ඇති බැංකු ශාඛාව වෙතින් හුවමාරු කර ගත හැකිය.
ඉහත කරුණ සම්බන්ධයෙන් මුහුණ දෙනු ලබන ඕනෑම අපහසුතාවයකදී ඔබට අප හා සම්බන්ධ විය හැකි බවද මහ බැංකුව කියයි.