'ඔමික්‍රෝන්' ප්‍රභේදයට එරෙහිව කෝවිඩ් එන්නතින් කිසිදු සාර්ථකත්වයක් නොමැති බවට සහ ඒ අනුව මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීම තේරුමක් නොමැති බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය මතයන් වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ, ඕනෑම කෝවිඩ් ප්‍රභේදයකට මුහුණදීමට ඇති හැකියාව "හොඳ මට්ටමක" පවතිනුයේ එන්නත්කරණය තුළින් වන බවයි.
එසේම නව වෛරස ප්‍රභේද බිහිව ඇත්තේ, එන්නත්කරණය "හොඳින් කරගත නොහැකි වුණු අවස්ථා" වලදී වන බවට නිරීක්ෂණය වන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
ඒ අනුව මේ වනවිටද කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 සම්පූර්ණ කර නොමැති පුද්ගලයන් සහ බූස්ටර් මාත්‍රාවට නිර්දේශිත කණ්ඩායම් තමන්ට හිමි එම එන්නත් මාත්‍රා ලබා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු වන බවදවිශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කර සිටියේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (29දා) පැවති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඔමික්‍රෝන් ප්‍රභේදයට අමතරව මෙතෙක් හඳුනානොගත් තවත් දරුණු වෛරස ප්‍රභේද ලොව පැවතිය හැකි බවයි.
ඒ අනුව එක් වෛරස ප්‍රභේදයක නමක් පසුපස හඹා යාම වෙනුවට ඇතිව තිබෙන සහ ඇතිවිය හැකි සියලු වෛරසවලින් ආරක්ෂා වීම සඳහා නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඇතුළු ගත හැකි සෑම ආරක්ෂාකාරී පියවරක්ම ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු වන බවට විශේෂඥ වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.