ෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
එම සැකකරුවන් පිරිස සමග හෝටලයේ හිමිකරු ද අධිකරණයට ඉදිරිපත් කලේය.
ඔවුන් සියලු දෙනාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනය කිරීමට ඒ ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කලාය.
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 44 ක් සමග අත්අඩංගුවට ගත් බණ්ඩාරගම යටියන පදිංචි ගීතාන් සංජල ජයතුංග නැමැත්තා මෙම මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ පත් කරන ලෙස මහේස්ත්‍රාත් වරිය වැඩිදුරටත් නියෝග කලාය.
කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මිල්ලනිය බැල්ලන්තුඩාව හෝටලයක් වටලා අත්අඩංගුවට ගත් පිරිස අතර මත්කුඩු ,කේරල ගංජා,විදේශීය මත්පැන් ,මත් වීමට භාවිතා කරන චොකලට් සමග මෙම සැකකාර තරුණ තරුණියන් පිරිස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් එම සැකකාරියන් අතර 17 හැවිරිදි තෙමස් ගැබිණියක් ද සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය
ඇප නියම වූ එම තරුණ තරුණියන් බණ්ඩාරගම ,දෙහිවල ,පානදුර ,දොඩංගොඩ , කඩුවෙල,බොරලැස්ගමුව හා හොරණ පදිංචි කරුවන් ය.
සැකකරුවන් හා සැකකාරියන් බී වාර්තාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මිල්ලනිය පොලිසිය විසිනි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
