මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් අද (14) අලුයම වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබේ.
අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ තරුණියන් 60 දෙනෙකු පමණ සාදයට එක්ව සිට ඇති අතර නිරෝධායන නීති නොතකමින් සිට ඇති අතර ඔවුන් මත්පැන් වලට අමතරව මත්පෙති පානය කරන්නට ඇති බවට සුරාබදු නිලධාරීන් සැකකරයි.
කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් මෙම ෆේස්බුක් සාදය සංවිධානය කරනු ලැබ ඇති අතර එක් අයෙකුගෙන් රුපියල් 2000.00 ක මුදලක් අයකර තිබෙන බවත් සාදය සංවිධානය කළ පුද්ගලයාට බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් අළෙවි කිරීමේ චෝදනාව යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා පැවසිය.
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න,මහනුවර සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ සුරාබදු ස්ථානාධිපති සිසිර හේරත් ප්රමුඛ නිලධාරීගේද මහනුවර සුරාබදු ස්ථානාධිපති ප්‍රියන්ත පෙරේරා ඇතුළු නිලධාරීන්ගේද සහයෙන් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ ඇත.
කිරිබත්ගොඩ,මීරිගම,ජාඇල,කොළඹ,මහනුවර,අකුරණ,වැල්ලම්පිටිය,කඩවත,බලන්ගොඩ යන ප්රදේශල පිරිසක් මෙම ෆේස්බුක් සාදයට පැමිණ සිටි බව මලවිපතිරණ මහතා කීය.