ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් හෙට (22දා) දිවයිනට ලැබීමට නියමිත බවත්, අනිද්දා තවත් එන්නත් ලක්ෂ 4 සහ ලබන දෙසැම්බර් මස සිට සෑම මාසයකම එන්නත් ලක්ෂ 30 බැගින් දිවයිනට එවන බව ෆයිසර් මව් සමාගම දැනුම් දී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (21 දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුර වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
මේ වන විට පාසල් සිසුන් අතර කොවිඩ් 19 උප ප්‍රභේදය පැතිර යාමේ වැඩි හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් පාසල් ළමුන්, උපකාරක පන්ති යන සිසුන් මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැලඳිය යුතුයි. දෙමව්පියන් විශේෂයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන්, මේ පිළිබඳව ඔවුන් දිනපතා දැනුවත් කළ යුතුයි.
අපි දන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණයෙන් අනාවරණය වෙලා තිබෙනවා ලංකාවේ ප්රමුඛ ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේද ඇති වෙලා තිබෙන බව, එය විශේෂයෙන් පාසල් ළමුන් සහ තරුණයන් අතර සුලබව පැතිර යන බව.
සම්පූර්ණ එන්නත් කරනයට ලක් වෙච්ච අයට කොවිඩ් රෝගය වැලඳුණ විට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ තමයි තියෙන්නේ, සාමාන්‍ය උණ හිසරදය මස්පිඩු වේදනාව තමයි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ. ගොඩක් අය පූර්ණ එන්නත් කරනයට ලක් උනාට පස්සේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණ විට එය නොසලකා හරින්න තීරණය කරලා තිබෙනවා. එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් කියලා, හැබැයි ගැටලුව තිබෙන්නේ ඔබට එය ඔබට බරපතළ නොවුණට ඔබගෙන් තව කෙනෙකුට පැතිර යන්න පුළුවන්. වැසි සහිත කාලගුණයක් නිසා කොවිඩ් වේගයෙන් පැතිර යන්න පුළුවන්.එම නිසා දැඩි අවධානයකින් සිටිය යුතුයි.
අනුරාධපුර - බී .ජී.චතුරංග