හිස නැති කාන්තා මළ සිරුර විශාල ගමන් බෑගයක බහා කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ බස් රථය වේල්ලවීදිය පොලීසිය මගින් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මාර්ග අංක 143 හංවැල්ල - පිටකොටුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී මෙවැනි විශාල ගමන් මල්ලක් සහිත පුද්ගලයෙක් හංවැල්ලේදී බස් රථය ගමන් ආරම්භ කිරීමේ දී ගොඩ වූ බවට ඔවුන් දෙදෙනා විසින් සනාථ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම පුද්ගලයා එම ස්ථාකියයි පැමිණ ඇත්තේ පහළ හංවැල්ලේ සිට තී රෝද රථයකින් බව මේ වන විට අනාවරණය ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
බස් රථය දහවල් 1. 15ට පමණ කොළඹට ළඟා වීමෙන් අනතුරුව ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී එම පුද්ගලයා ගමන් මල්ලත් රැගෙන බස් රථයෙන් බැස ගමන්මල්ල මාර්ගය දිගේ රැගෙන ගොස් ඇති බව සි සි ටි වි දර්ශන වලින් පැහැදිලි වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මළ සිරුර මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.