කොළඹ සිට පස්සර මඩොල්සිම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (25) අලුයම හල්දුම්මුල්ල නගරය ආසන්න කදිරේෂන් ඇල්ල ප්රදේශයේ දී පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක හැපී අඩි 300ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් තුන් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
වෑන් රථය හැපීමෙන් අධිබලැති විදුලි රැහැන් කනුව ප්රධාන මාර්ගය හරහා කඩා වැටීම නිසා එය ඉවත් කරනතෙක් කොළඹ බදුල්ල ප්රධාන මාර්ගය එම ස්ථානයෙන් පැයකට අධික කාලයක් සම්පූර්ණයෙන් අවහිර වී තිබිණි.
මිය ගොස් ඇත්තෙ මඩොල්සිම එම් නාගනාදන් (57) නමැත්තෙකි.
රෝගී පුද්ගලයෙකු රැගෙන කොළඹ සිට එන අතරතුර මෙම අනතුර සිදුවී තිබේ. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල කරුවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්දයෙන් හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හල්දුම්මුල්ල එස් පි නානායක්කාර