මෙරට ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාව මත යුද හමුදාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කළ හැකි නමුත් ඒවාහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව තුළ විනිශ්චයක් තිබෙන බවත් යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙරට අතිබහුතර ජනතාව තුළ ඇත්තේ විශාල පැහැදීමක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාව ඡාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව තිබෙන බවත් කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයේදී හමුදා අංශ කළ මෙහෙය මෙරට ජනතාව දන්නා බවත් ඒ මහතා පැවසීය.
ඊයේ (27) මහනුවරට පැමිණි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා මාළිගා භූමියේ පැළයක්ද රෝපණය කිරිමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැකීමට ගියේය.
යුද හමුදාපතිවරයා කොවිඩ්-19 පාලනය කිරීමට රජය ගෙනගිය වැඩපිළිවෙළේදී යුද හමුදාව ලබාදුන් දායකත්වය සම්බන්ධව මහනාහිමිවරුන්ට පැහැදිලි කිරීමක්ද කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක් මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරීවල නිරතව සිටින බවත් අපේ හමුදා කණ්ඩායම් වල රාජකාරී සම්බන්ධයෙන් ඔවුන් විශේෂ පැහැදීමකින් පසුවන බවත් මෙම කණ්ඩායම් වලට අවශ්‍ය සන්නද්ධ රථ 09ක් මෙරට නිෂ්පාදනය කර මාලි රාජ්‍යයට පසුගියදා යැවූ බවත් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට සේවය ලබාදෙන අතරතුර සෙසු කාර්යයන්ද යුද හමුදාව කිසිදු අතපසු කිරීමකින් තොරව සිදුකරන බවත් ඒ මහතා මහනාහිමිවරුන් හමුවේ පැවැසුහ.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ත්‍රිවිධ හමුදාව,පොලීසිය කළ මෙහෙය පිළිබඳව ඉතා ඉහළින් අගය කළ බවද හෙතෙම පැවසීය.
